ලක්‍ෂ 75 ක මුදල් මගඩියට – සීඅයිඩී හිටපු ලොක්කෙක් ගැන විමර්ශන

407

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනයක දී රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි මෙම විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ම ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශයටද දැනුම් දීමක් කර තිබේ.

මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නයිජීරියානු ජාතිකයන් ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පැවැති විමර්ශනයකදී මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවී ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ගිණුමක තිබූ රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක් විමර්ශනය කළ නිලධාරීන්ට බලපෑම් කර එම සැකකරුට ආපසු භාරදීමට හිටපු අධ්‍යක්‍ෂවරයා කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත.

එම වංචාවට සම්බන්ධ සැකකරුවන් සියලූ දෙනා අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරුවකු සතුව තිබූ රුපියල් හැත්තෑපන් ලක්‍ෂයක් ආපසු ඔහු වෙත මුදාහැරීමට මෙම හිටපු අධ්‍යක්‍ෂවරයා කටයුතු කිරීමේදී විශාල වංචාවක් සිදුවී ඇති බවටද හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස්පති නියෝගයෙන් එම විමර්ශනය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්ම ආරම්භ කර ඇති අතර හිටපු අධ්‍යක්‍ෂවරයාගේ බලපෑමට ලක්වූ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කටඋත්තර ලබාදී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම චෝදනාව එල්ලවී තිබෙන හිටපු අධ්‍යක්‍ෂවරයා මේ වන විට උසස්වීමක්ද ලබාගෙන වෙනත් පොලිස් බල ප‍්‍රදේශයක රාජකාරි කරමින් සිටී.

මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් ඇතුළු සැකකරුවන් පිරිසක් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබිණි.

එම සැකකරුවන්ට එරෙහිව සිදුකළ පරීක්‍ෂණ අතුරතුර මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම හිටපු අධ්‍යක්‍ෂවරයා අවස්ථා දෙකකදීම මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ පාර්ශ්ව සිය කාර්යාලයට ගෙන්වා පැය ගණනක් තිස්සේ සාකච්ඡුා කර ඇති බවද මේ වන විට හෙළිවී ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment