ලක්‍ෂ 75 වංචාවට එරෙහිව උසාවි ගිය එස් පීට මාරුවක්

335

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයකු විසින් සිදුකර ඇතැයි කියන රුපියල් 75 ලක්‍ෂයක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට වාර්තා කළ එම දෙපාර්තමේන්තුවේම මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතා පොලිස්පතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරුකර යවා ඇත.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ මෙම විමර්ශනයට සම්බන්ධ වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් විනය පරීක්‍ෂණ පවත්වා මාරුකර යැවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතා මෙසේ මාරුකර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාව සිටි කාල සීමාවේදී උණ්ඩියල් ජාවාරම්කරුවන් පිරිසකට අයත් රුපියල් ලක්‍ෂ 75 ක මුදලක් අධිකරණයට ඉදිරිපත් නොකර වංචනික ලෙස එම ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයක් නිසා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එවකට මහජන ආරක්‍ෂාව භාර ලේකම් ජගත් අල්විස් මහතා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම උණ්ඩියල් ජාවාරම පිළිබඳ විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබිණි. එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූයේ රොහාන් ප්‍රේමරත්න මහතා ය.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් ඇතුළු මෙරට උණ්ඩියල් ජාවාරම්කරුවන් පිරිසක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබිණි.

ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගත් රුපියල් ලක්‍ෂ 75 ක මුදලක් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.

විමර්ශන කණ්ඩායම් පවසන අන්දමට එසේ භාරදුන් රුපියල් 75 ලක්‍ෂයක මුදල එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ රොහාන් ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් නොකර ආපසු ජාවාරම්කරුවන් වෙත භාර දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණයෙන් පසු රොහාන් ප්‍රේමරත්න මහතා වහාම මාරුකර යැවූ අතර මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්ම විමර්ශයක් ආරම්භ කරන ලදී.

එම විමර්ශනය පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වර්තමානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතා විසින් කටයුතු කර තිබේ.

එසේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ලෝරන්ස් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

රුපියල් ලක්‍ෂ 75 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නිරදේශ කිරීමට ද ලෝරන්ස් මහතා විසින් කටයුතු කර තිබූ බව වාර්තා වෙයි.

මෙම සිද්ධියට අදාළ ලිපිගොනුව පොලිස්පතිවරයා වෙත යවා මාස 06කට අධික කාලයක් ගතවී තිබුණ ද ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නොතිබූ බව ද ආරංචි මාර්ග පවසයි.

ඉකුත් 05 වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට වාණිජ අපරාධ කොට්ඨාසය කටයුතු කළේය. මෙම කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් රොහාන් ප්‍රේමරත්න මහතා පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බව ද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment