ලක්‍ෂ 55ක මුදල් සහ කේරළ ගංජා සමග වැල්ලම්පිටියේ ‘බෙටී’ගේ ගෝලයා දැලේ

167

එස්. ඞී. අබේසිංහ – මහරගම
 

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත ප‍්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 55 කට අධික මුදල් තොගයක් සමග ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලවලට සම්බන්ධ ගෝලයකු ලෙස සේවය කරනා පුද්ගලයකු පෙරේදා (23 දා* රාත‍්‍රියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය.
 
 අත්අඩංගුවට ගත් සැකකරු සමඟ කේරළ ගංජා කිලෝ 4 ග‍්‍රෑම් 60 ක් හා ඒවා විකිණීමෙන් උපයාගත් රුපියල් පනස්පන් ලක්ෂ පනස්පන්දහස් පන්සිය විස්සක මුදලක් පොලිස් භාරයට ගත් බව අපරාධ කොට්ඨාසය පැවසීය. සැකකරු 24 වැනි වියේ පසුවන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි අයෙකි. දෙමටගොඩ ඥානවිමල උයන මාවත මාර්ගයේ ගමන් කරමින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටින බවට ලද තොරතුරක් මත අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ගංජා තොගය සහ මුදල් තොගය වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ නිවසේ සඟවා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය. සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘කෙසෙල්වත්තේ ධනුක’ නමැත්තාගේ සමීපතම ගෝලයෙක් වන ඩුබායි රටේ සැඟව සිටින ජූඞ් බර්ටී නොහොත් ‘වැල්ලම්පිටියේ බෙටී’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප‍්‍රධාන මෙහෙයුම් කරුවා ලෙස මෙම සැකකරු කටයුතු කරන බව සිදුකළ මූලික විමර්ශනවල දී හෙළි වූ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය මත කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ඇනස්ලම් ද සිල්වා මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම මත අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment