ලකිසුරුත් අස් කළ කොළඹ ‘රජගෙදර පෙරළිය’

436

උඩරට ගිවිසුමට වසර 147කට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කැඳවීමත් මැතිවරණයකින් පසු අගමැති කෙනකු තෝරා පත් කිරීමත් එවක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය යටතේ මේ රටේ අග‍්‍රාණ්ඩුකාරවරයාට පැවරී තිබූ බලතල අතර විය. එපමණක් නොව පාර්ලිමේන්තුවෙන් සම්මත කෙරෙන ඕනෑම නීතියක්, පනතක් නීතිගත වූයේද අග‍්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලැබීමෙන් පසුවය.

1972 හා 1978 ව්‍යවස්ථා සංශෝධනවලින් එම සම්ප‍්‍රදායයන් මෙන්ම අග‍්‍රාණ්ඩුකාර තනතුර වෙනස්වී ජනාධිපති (1972) විධායක ජනාධිපති (1978) පදවි මේ රටේ ස්ථාපිත කෙරිණි.

ඉංගී‍්‍රසි අග‍්‍රාණ්ඩුකාරවරුන්ගෙන් පසු මේ රටේ ශී‍්‍ර ලාංකිකයකු අග‍්‍රාණ්ඩුකාරවරයකු ලෙස පත්වීමේ ඓතිහාසික වාර්තාව තැබුවේ සර් ඔලිවර් ගුණතිලකයි. සර් ඔලිවර් 1892 ඔක්තෝබර් 22 වැනි දා උපන්නෙකි. ඔහු අග‍්‍රාණ්ඩුකාර ධුරයට පත්වුණේ 1954 සර් ජෝන් කොතලාවල අගමැති පදවිය හොබවද්දීය. වසර දෙකක් තුළ සර් ජෝන්ට අගමැති පදවිය අහිමි වුවද සර් ඔලිවර් හෙබවූ අග‍්‍රාණ්ඩුකාර ධුරයේ වෙනසක් නොවීය.

ලකිසුරුත් අස් කළ කොළඹ ‘රජගෙදර පෙරළිය’

1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා අගමැති පදවියට පත්වීමෙන් පසුව ද දිගටම අග‍්‍රාණ්ඩුකාර ධුරයේ කටයුතු කළ සර් ඔලිවර්, බණ්ඩාරනායක මහතා ඝාතනය වූ අවස්ථාවේ ආචාර්ය ඩබ්ලිව්. දහනායක අගමැති පදවියට පත් කළේය. ඊට මාස 4 කට පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ආණ්ඩුව පිහිටුවන ලෙස ඇරයුම් කළේ අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස තමන් සතු බලතල ප‍්‍රකාරව සර් ඔලිවර් විසිනි.

ශී‍්‍රමත් ඔලිවර් 1892 ස්වකීය ජන්ම ලාභය ලැබුයේ ති‍්‍රකුණාමලයේදී අට දෙනකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා වශයෙනි. මේ රටේ රාජ්‍ය පාලනය තුළ ඔහු ඉහළම පදවි රැසක් හෙබවීය. සංවිධාන ශක්තිය මෙහෙයවීමේ මනා හැකියාවක් තිබූ ඔහු අප රටට ජපනුන් බෝම්බ දැමූ අවස්ථාවේ කි‍්‍රයා කළ අන්දම දෙස් විදෙස් පැසසුමට හේතු වූයේය. තවත් ඔලිවර්ලා දෙතුන්දෙනෙක් හිටියොත් අපේ රටට බය වෙන්න දෙයක් නැහැ. එදා සර් ජොෆ්රි ලේමන් කීවේ ඔහු තුළ වූ මනා දක්‍ෂතාව පෙන්වා දෙමිනි.

ලකිසුරුත් අස් කළ කොළඹ ‘රජගෙදර පෙරළිය’

බි‍්‍රතාන්‍ය පාලන යුගයේ නයිට් පදවියකින් රාජකීය සම්මාන ලැබූ ලාංකික ප‍්‍රථම මුදල් ලේකම්වරයා ද වූ ඔහු ඔඩිටර් ජනරාල් පදවියට පත් පළමුවැනි ලාංකිකයා ද විය. දෙවන ලෝක යුද සමයේ සිවිල් ආරක්‍ෂක හා ආහාර කොමසාරිස් පදවි ද දරා 1947 සෙනෙට් මන්තී‍්‍රවරයකු වශයෙන් පත්ව ඞී. එස්. සේනානායක යටතේ ස්වදේශ ඇමැති පදවිය ද ඇරඹීය. ලංකාවට නිදහස ලැබීමෙන් පසු 1948 ජූලි මස ලන්ඩනයේ ලංකා මහ කොමසාරිස්වරයා වූ ඔහු පසුව මෙහි පැමිණ ස්වදේශ ඇමැති පදවිය ඇරඹීය. පසුව ඩඞ්ලි සේනානායක මහතාගේ රජයේ ගොවිකම් හා ඉඩම් ඇමැති වූ ඔහු 1954 ජූලි 17 වැනිදා සෝල්බරි සාමිවරයාගෙන් පසු අග‍්‍රාණ්ඩුකාර ධුරයට පත්විය.

සර් ඔලිවර් අග‍්‍රාණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරන ලද්දේ 1962 අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දෙවැනි එලිසබෙත් මහ රැජිනගෙන් කරන ලද ඉල්ලීමක් පරිදිය.

ඒ වනවිට බලහත්කාරයෙන් ආණ්ඩු බලය අත්කර ගැනීමට වූ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණය ගැන බොහෝ කරුණු හෙළිවී තිබිණි. මේ කුමන්ත‍්‍රණයද සර් ඔලිවර්ගේ පදවිය වෙනස් කිරීමට බලපෑ බවට එදා දේශපාලන විචාරකයන්ගේ අදහස විය.

ලකිසුරුත් අස් කළ කොළඹ ‘රජගෙදර පෙරළිය’

මේ අග‍්‍රාණ්ඩුකාර පදවි පෙරළියට පෙර එවක මුදල් ඇමැතිවරයා වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ ප‍්‍රකාශයක්ද කළේය. එහි මෙසේ දැක්විය. කුමන්ත‍්‍රණ සිද්ධිය ගැන පරීක්‍ෂණය පවත්වාගෙන යද්දී අග‍්‍රාණ්ඩුකාරතුමාගේ නම ද සඳහන් වී ඇති බව එතුමාට දන්වන ලදුව අන් කවර පුරවැසියකු සේම තමන් ද ප‍්‍රශ්න කිරීමට හා පරීක්‍ෂාවට භාජනය වීමට කැමැති බව එතුමා විසින් සිය කැමැත්තෙන්ම දන්වන ලද්දේය. ඒ අනුව දැන් පරීක්‍ෂණ පැවැත්වෙයි. එම ප‍්‍රකාශය ගැන පැවැති විවාදයේදී කතා කළ එවක ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරයකු වූ ඇස්. ඞී. බණ්ඩාරනායක මහතා (ගම්පහ) හා මහජන එක්සත් පෙරමුණේ නායක පිලිප් ගුණවර්ධන, ලංකා කොමිනියුස්ට් පක්‍ෂයේ නායක පීටර් කේනමන් ද සර් ඔලිවර් අග‍්‍රාණ්ඩුකාර ධුරයෙන් පහ කරන ලෙස ඉල්ලා සිටියහ.

පැවැති සම්ප‍්‍රදාය වූයේ ලංකාවේ අගමැතිගේ උපදෙස් මත මහ රැජින විසින් මෙරට අග‍්‍රාණ්ඩුකාරවරයා පත් කිරීමය. 1972 ව්‍යවස්ථාවට පෙර මහ රැජිනගේ නියෝජිතයා වශයෙන් අග‍්‍රාණ්ඩුකාරවරයා රැජිනගේ නාමයෙන් මෙහි කටයුතු කළේය.

සර් ඔලිවර්ගෙන් පසු ප‍්‍රථම වරට බෞද්ධයකු මෙරට අග‍්‍රාණ්ඩුකාර ධුරයට පත්වෙමින් තවත් ඓතිහාසික සිදුවීමක් ඉන් ඉක්බිතිව සිදුවිය. එම භාග්‍යය ලැබුවේ විලියම් ගොපල්ලව මහතාය. ඓතිහාසික උඩරට ගිවිසුම අත්සන් කරන ලද දිනට වසර 147 කට පසු හරියටම මාර්තු 2 වැනිදා විලියම් ගොපල්ලව මහතා අග‍්‍රාණ්ඩුකාරවරයා ලෙස දිවරුම් දුන්නේය. සර් ඔලිවර් ස්වකීය 65 වැනි විය සපුරද්දී පදවියෙන් ඉවත්ව යද්දී, 65 හැවිරිදි විලියම් ගොපල්ලව අග‍්‍රාණ්ඩුකාර ධුරයට පත්වුණේය. 1962 පෙබරවාරි 26 වැනිදා ලංකා වේලාවෙන් රාති‍්‍ර 11.10 ට මහ රැජින එම පත්කිරීම බකිංහැම් මාලිගාවේදී ප‍්‍රකාශයට පත් කළාය. ඒ වන විට ගොපල්ලව, ඇමරිකාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියේය.

මේ අග‍්‍රාණ්ඩුකාර පදවි පෙරළියට පෙර දින ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ කොළඹ පැවැති ජම්බෝරිය විවෘත කිරීමේ උත්සවයට එවක අගමැතිනිය සහභාගි වීමට නියමිතව තිබුණ ද ඇය ඊට සහභාගි නොවූවාය. අග‍්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක, උත්සවයට පැමිණි විශේෂ අමුත්තන් අතර විය. අගමැතිනිය වෙනුවෙන් ස්වදේශ ඇමැති මෛති‍්‍රපාල සේනානායක ඊට සහභාගි වූවේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වූ විලියම් ගොපල්ලව 1897 සැප්තැම්බර් 16 වැනිදා උපන්නේය. මාතලේ පළාත් ආණ්ඩු සභිකයකු වශයෙන් අවුරුදු 14 ක කාලයක් කටයුතු කළ ඒ මහතා වසර 5 ක් එහි සභාපති පදවිය ද දැරීය. 1939 මහනුවර නාගරික කොමසාරිස් ලෙස පත්වූ ගොපල්ලව 1951 සිට 1957 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළේය. සීලවතී රඹුක්වැල්ල මහත්මිය සමග විවාහ වී සිටි ඔහු දරුවන් පස්දෙනකුගේ පියකු විය. 1958 විල්මට් පෙරේරා මහතාගෙන් පසු චීනයේ ලංකා තානාපති ලෙස ද පත්වූ ඔහු පසුව ඇමරිකානු තානාපති ලෙස පත්කෙරිණි. ඔහුගේ පුත‍්‍රරත්නයක් වූ මොන්ටි ගොපල්ලව පසුකලෙක මැති සබය නියෝජනය කළේය. වැඩිමහල් දියණිය සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ සොහොයුරකු වූ මැකී රත්වත්තේ මහතා සමගත් අනෙක් දියණිය හිටපු සංස්කෘතික ඇමැතිවරයකු වූ ඇම්. බී. මැදිවක මහතාගේ පුත‍්‍රයකු වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ භූගෝල ශාස්ත‍්‍රය පිළිබඳ ආචාර්ය ඇල්. ඩබ්ලිව්. මැදිවක මහතා සමගත් විවාහ ගිවිසගෙන සිටියහ.

ලකිසුරුත් අස් කළ කොළඹ ‘රජගෙදර පෙරළිය’

සැදැහවත් බෞද්ධයකු වූ විලියම් ගොපල්ලව අග‍්‍රාණ්ඩුකාවරයා කොළඹ රජගෙදර (එදා අග‍්‍රාණ්ඩුකාර නිල නිවස) පළමුවරට බුදු මැඳුරක් තනා මල් පහන් පුදා බුදුන් වැඳීම දිනපතා සියල්ලටම පෙර තම දිනචරියාවට එක්කරගත් මෙරට ප‍්‍රථම ‘රජගෙදර’ මුල් වැසියා ද වන්නේය.

ඒ කාලයේ හැටියට අග‍්‍රාණ්ඩුකාර පදවිය රජයේ උසස්ම තනතුර විය. 1962 අග‍්‍රාණ්ඩුකාරවරයාට මසකට රුපියල් 7500 ක් වැටුප් වශයෙන් ලැබිණි. ඊට අමතරව සංග‍්‍රහ උත්සව ආදියට මාසයකට රුපියල් 1500 ක දීමනාවක් ලැබිණි. අග‍්‍රාණ්ඩුකාරවරයා වෙනුවෙන් අවුරුද්දකට වෙන් කෙරුණ මුදල රුපියල් එක්ලක්‍ෂ අටදහසකි.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment