ලග්නයෙන් ලග්නයට සිංහල අලුත් අවුරුදු පලාඵල

27841

මේෂ –

රවි බුධ සහ රාහු ලග්නයේද සිකුරු 2 වැන්නේ ද කුජ 3 වැන්නේ ද කේතු 7 වැන්නේ සහ සඳු 10 වැන්නේ ද, ශනි 11 සහ ගුරු 12 වැන්න ගෝචර මෙම වසර ශුභයි.

රැකීරක්‍ෂාවල උසස්වීම්, තනතුරු ලාබ ලැබීම් වැනි දේවලට හේතුයි. තම ව්‍යාපාරවල ද දියුණුවක් පෙනේ. තැන්පත් ධනය වර්ධනය වීමට ඉඩ ඇති වසරකි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමියන් අතර බැඳීම් ඇතිවෙයි. අවිවාහක නම් විවාහ යෝග උදා කරයි. දූ දරුවන් නිසා සතුටු විය හැකි වසරකි. නව නිවාස ලාබ ලැබීම් හෝ නිවාස ඉදිකිරීම් වැනි දේවලට හේතුයි. කලක් තම මතයට වදදුන් පීඩා ඉවත් වෙයි. ගමන් බිමන් අධික වෙයි.

විදෙස් ගමන් විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ට ජය දෙයි. පවතින ණයතුරුස් වලින් අතමිදෙන වසරකි. භූමි සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙයි. ශුභවාදී ඵල දෙයි. කෘෂි කාර්මික කටයුතු, පතල් කැනීම් ආදියෙන් ජයග්‍රහණ ගෙන දෙයි. ආගමික වතාවත් ක්‍රියා ගරු කරන දිනකි. තම සමීපතමයෝ ද දහමට යොමුකර වන ක්‍රියාවන් දියත් කරයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වෙයි. අධ්‍යාපනයේ යෙදෙන්නන් ද ජයග්‍රහණ ලබයි. සෙම් කෝප රෝග පෙනහලු ගත රෝගාදියට හේතුයි. ශල්‍යකර්ම වැනි දේට කැඩුම් බිඳුම් වැනි දේවලට හේතුයි.

ශුභ වර්ණය – තද රෝස, තැඹිලි, ජය අංකය 1, 5

වසරේ පවතින බාධා ඉවත් කර ගැනීමට ආගමික වතාවත් වල යෙදීම, බෝධියෙහි සත්‍ය ක්‍රියාවල යෙදීම ශුභයි. පංච වර්ණ මල් පිදීම, පස්තෙල් පහන් දැල්වීම, ස්කන්ධ කුමාර දෙවි ගරු කිරීම ආදී ක්‍රියා තුළින් ජයගත හැක. අනාගත බුද්ධ වංශය සිහිකර පලතුරු පැළ 3ක් පොදු ස්ථානවල සිටුවා සත්කාර කිරීම ශුභයි.

වෘෂභ –

ලග්නාධිපති සිකුරු ලග්නයේද, කුජ 2 වැන්නේද, කේතු 6 වැන්නේ ද සඳු 9 වැන්නේද ශනි 10 වැන්නේ සහ ගුරු 11 වැන්නේ ද රවි බුධ රාහු සමග 12 වැන්න ගෝචර මෙම වසර ශුභඵල දෙයි.

රැකීරක්‍ෂා ස්ථානයන්හි ප්‍රසාදයට පත්වේ. රැකියා බලාපොරොත්තු වූවන්ගේ අරමුණු ජයගන්නා වසරකි. හදිසි ලාබ ද ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. පුරුෂ පක්‍ෂය ස්ත්‍රීන්ටත් ස්ත්‍රී පක්‍ෂය පුරුෂයන්ටත් වශ්‍යවන ප්‍රමාණය වැඩි වෙයි. තවද ඇසුරු කිරීමේදී බුද්ධිමත් විය යුතුය. නොකළ වැරදිවලට චෝදනා එල්ලවීමට ඉඩ තිබේ. ප්‍රීති සාද උත්සව තරමක් යෙදෙන අතර වැයපසද ඉහළ යයි.

සෞන්දර්ය ක්‍රියාකාරකම්වල යෙදෙන්නන් ප්‍රසාදයට පත්වෙයි. නව නිර්මාණ ඇරඹීමට ශුභයි. ගමන් බිමන් බහුල වෙයි. නිශ්ඵල ක්‍රියා ද යෙදේ. එබැවින් දුරදිග බලා ක්‍රියාකළ යුතුයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. නව පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව ලාබ ලැබීමට හේතුයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජා ගරු කරයි. ලේ දූෂිත රෝග මධුමේහ

රෝගාදියට හේතුයි. සන්ධි ප්‍රදාහ රෝග ඉදිමුම් ආදියට ද හේතුයි.

ශුභ වර්ණය – සුදු, ක්‍රීම් පැහැය

ජය අංකය – 2, 7

වසරේ පවතින බාධා ඉවත්වීම සඳහා ආගමික වතාවත් ගරු කිරීම්, බෝධියෙහි සත්‍ය ක්‍රියාවන්හි යෙදීම, සුදු සහ කහ මිශ්‍ර මල්, තලතෙල්, පහන් පුදා ආගමික වතාවත් ගරු කිරීම, සුමන සමන් දෙවි, චන්ද්‍ර දෙවි ආදීන් උදෙසා වතාවත් කිරීම පොදු ස්ථානවල ඖෂධ පැළ සිටුවා සත්කාර කිරීම ආදිය ශාන්ති කර්ම වේ.

මිථුන –

ලග්නාධිපති බුධ රවි සහ රාහු සංයෝගව 11 වැන්නේද සිකුරු 12 වැන්නේද කුජ ලග්න ගතවද කේතු 5 වැන්නේ ද සඳු 8 වැන්නේ සහ ශනි 2 වැන්නේ ද ගුරු 10 වැන්නේ ද ගෝචර මෙම වසර ශුභා ශුභ ඵල දෙයි.

රැකියා ස්ථානවල බාධා ඉවත්වෙයි. තම ව්‍යාපාරවල පැවති බාධා ඉවත්කර ගැනීමේ ශක්තිය ඇතිවෙයි. තැන්පත් ධනය තරමක් වැය වන කරුණු කාරණා යෙදේ. තනතුරු ලාභ ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. ඉඩකඩම් දේපළ පිළිබඳ පැවති

ගැටලු යහපත් ලෙස නිරාකරණය වෙයි. කලක් සැලසුම් කළ විදෙස් ගමන් සාර්ථක වෙයි. විදෙස් රැකියා ලාබ ලබයි. විදෙස් ගත වූවන්ගෙන් උදව් උපකාර ලැබෙයි. අවිවාහක අයට මංගල සීනු නාද වෙයි. ප්‍රේම සබඳතා ඇතිවෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. නමුත් තරමක් උනන්දුව හීන වෙයි. නව නිර්මාණ ඇරඹීමට හොඳ වසරකි. ජන ප්‍රසාදය ලබයි. ලිපි ලේඛන කලාවෙන් ජයගත හැක. ආගමික වතාවත් උත්සව ගරු කරයි. භූමි ලාබ භූමි සම්පත් ගෙන දෙන වසරකි. පොළොව ආශ්‍රිත ක්‍රියාවන්ට ජයයි. තරමක් වෙහෙසව ක්‍රියා කළ යුතුය. මුඛ රෝග, දන්ත රෝග, නේත්‍ර රෝග මතු කරයි. ස්වසන පද්ධතියේ රෝග මතු කරයි.

ශුභ වර්ණය – කොල, රන්වන්

ජය අංකය – 03, 06

පවතින පීඩා දුරුකර ගැනීම සඳහා ආගමික චාරිතවල යෙදීම, දුගී මගී යාචකාදීන්ට දානමාන දීම, වස්ත්‍ර දානය වශයෙන් දීම, පංච වර්ණ මල් පිදීම, කොහොඹ තෙල් පහන් පිදීම, මහා විෂ්ණු දෙවි ප්‍රධානව පූජා පැවැත්වීම, පොදු ස්ථානවල පලතුරු පැළ සිටුවා සත්කාර කිරීම ශුභයි.

කටක –

ලග්නාධිපති සඳු 7 වැන්නේ ද ශනි 8 වැන්නේ ද ගුරු 9 වැන්නේ ද රවි බුධ රාහු සංයෝගව 10 වැන්නේ ද සිකුරු 11 වැන්නේ ද කුජ 12 වැන්නේ ගෝචර මෙම වසර ශුභඵල දෙයි. රැකියාවල උසස්වීම් රැකියා ලාබ ලැබීම් තනතුරු ලාභ ලැබීම් වැනි දේවලට හේතුයි. හදිසි ධන ලාභ අමතර ලැබීම් ඇතිවෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමියන් අවබෝධයෙන් ක්‍රියා කරයි. නව නිවාස ලාබ ලැබීම් ඇතිවෙයි. කලක් මනසට අවිවේකය දුන් ප්‍රශ්න පීඩා යහපත් ලෙස විසඳේ. සතුරන් අඩපන වෙයි. ස්වාධීනව ක්‍රියා කිරීමේ ශක්තිය ඇතිවෙයි. අවිවාහකයන්ට ශුභ ඵල දෙයි.

කලා කටයුතුවලින් ප්‍රසාදය දිනයි. උගතුන් ඇසුරට පත්වෙයි. යාන වාහන ලාබ ලබයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යයි. අධ්‍යාපනික ක්‍රියාවන්ගෙන් ජය මග පෑදෙයි. උනන්දුවෙන් ක්‍රියා කරයි. ප්‍රීති උත්සව සාදවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. දහමට ලැදිව ක්‍රියා කරයි. නව නිවාස ලාබ ලබයි. අන්සතු දේපළ උරුමයකට හේතු ඇතිවෙයි.

ලේ දූෂිත රෝග, හමේ රෝග මතු කරයි. මුත්‍රා ආසාදන මතු කරයි. අම්ල පිත්ත රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – රෝස, කහ

ජය අංකය – 04 – 07

පවතින පීඩා දුරුකර ගැනීම සඳහා ආගමික චාරිත්‍රවල යෙදීම, බෝධි වන්දනා ක්‍රියාවන්වල නිරතවීම, සුදු මල්, රතු මල් මිශ්‍රව පිදීම, මීතෙල් පහන් දැල්වීම, දුගී මගී යාචකාදීන් වෙනුවෙන් දාන මානාදිය දීම, පත්තිනි දෙවඟන උදෙසා පූජා පවත්වා ආශිර්වාද ඉල්ලීම ශුභයි.

සිංහ –

ලග්නාධිපති රවි බුධ සහ රාහු සංයෝගව 9 වැන්නේද සිකුරු 10 වැන්නේද කුජ 11 වැන්නේ ද කේතු 3 වැන්නේ ද සඳු 6 වැන්නේ සහ ශනි 7 වැන්නේ ද ගුරු 8 වැන්නේ ගෝචරව ශුභා ශුභ ඵල මතු කරයි.

රැකියාවල උසස්වීම් ඇති කරයි. රැකියා බලාපොරොත්තු වූවන්ට ජයයි. ව්‍යාපාර දියුණු වෙයි. අමතර ලාබ හදිසි ලාබ ගෙන දෙයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. අඹු සැමි සුහදතා වර්ධනය වෙයි. නව නිවාස ඉදිකිරීම් හෝ මිලට ගැනීම්වලට හේතුයි. විදෙස්

ගමන් විදෙස් රැකියා ස්ථිර වෙයි. අවිවාහක අයට මංගල සීනු නාදවන වසරකි. ඉඩකඩම් ලාබද ලබයි. භූමිය සම්බන්ධ රැකියාවල යෙදෙන්නන්ට ශුභ ඵල

ගෙනදෙයි. භූමි ලාබ ලබයි. අධ්‍යාපනයේ යෙදෙන්නෝ අරමුණු ජයගනී. ධාරණ ශක්තිය වර්ධනය වෙයි. ආගමික වතාවත් ගරුකරන වසරකි. දහමට ලැදිව ක්‍රියා කරයි. ප්‍රීති උත්සව ද යෙදේ. මහජන ප්‍රසාදයට පත්වන කරුණු කාරනා යෙදේ. සෞන්දර්ය කටයුතුවලින්ද ජය ලබයි. නව ව්‍යාපාර ඇරඹීමට හේතුයි. ස්නායු ගත රෝග, සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. සිරස ගත රෝග, නේත්‍ර රෝග ද මතු කරයි.

ශුභ වර්ණය – තැඹිලි, ලා දම්

ජය අංකය – 1, 5

ආගමික වතාවත් ගරුකිරීම, ශ්‍රමණ බමුණන් උදෙසා දානමානාදී ක්‍රියාවන්හි යෙදී බෝධි වන්දනා වැනි දේවල යෙදීම, අනාගත බුද්ධ වංශයට පුදා පලතුරු පැළ විහාරස්ථානවල සිටුවා සත්කාර කිරීම ඊශ්වර දෙවියන්ට පූජා පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනාව බාධක ජය ගැනීමට ශුභයි.

කන්‍යා –

ලග්නාධිපති බුධ රවි සහ රාහු සමග 8 වැන්නේ ද සිකුරු 9 වැන්නේ ද කුජ 10 වැන්නේ ද කේතු 2 වැන්නේ ද සඳු 6 වැන්නේ ද ශනි 6 වැන්නේ සහ ගුරු 7 වැන්නේ ගෝචර මෙම වසර ශුභ ඵළ සහිතයි.

රැකියා ස්ථිරවීම් හෝ උසස් රැකියා ලාබ ලැබීම් ඇතිවෙයි. හදිසි ධන ලාබ ලබයි. තැන්පත් ධනය වර්ධනය වන කරුණු යෙදේ.

ගෘහ ජීවිතය ශුභයි. ඥාති මිත්‍රාදීන් අතර ප්‍රසාදය දිනයි. නව නිර්මාණකරණයට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වේ. මංගල උත්සව ප්‍රීති සාද ඇතිවෙයි. විදෙස්ගත වීම් විදෙස් රැකියා ආදිය ලැබීමට හේතුයි. විදෙස්ගත වූවන්ගෙන් උදව් උපකාර ලබයි. අධ්‍යාත්මික ක්‍රියාවන්ගෙන් ජය ලබයි. ශාස්ත්‍රිය ඥානය වර්ධනය වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. නව නිවාස ලාබයකට හේතුයි. ආගමික වතාවත් ගරු කරන එවැනි පුද පූජා වැනි දේට යොමුවන වසරකි. නවක ඥාති සබඳතා ද වර්ධනය වෙයි. හවුල් ව්‍යාපාරවලින් ජය ලබයි. උත්සව සභාවන්හි යෙදේ. භූමි ලාභ ගෙන දෙයි. සිරස ගත රෝග, සෙම් රෝගාදියට හේතුයි. නේත්‍ර රෝග කර්ණ රෝග ප්‍රබල වෙයි. අලංකාර දේ සඳහා වැය පස ඉහළ යයි.

ශුභ වර්ණය – කොල, කහ

ජය අංකය – 01, 06

බෝධි පූජාවල නිරතවීම, බුද්ධ පූජා පැවැත්වීම, කහ මල්, නිල් මල් මිශ්‍රව පිදීම, ශ්‍රමණ බමුණන්ට දානමාන පිදීම, තලතෙල් පහන් දැල්වීම, ශ්‍රී උපුල්වන් විෂ්ණු දෙවිඳුට පූජා පවත්වා සෙත් ඉල්ලීම ශුභයි.

තුලා –

ලග්නාධිපති සිකුරු 8 වැන්නේ ද කුජ 9 වැන්න සහ කේතු ලග්නගතවද සඳු 4 වැන්නේද ශනි 5 වැන්න සහ ගුරු 6 වැන්නේ ද රවි, බුධ, රාහු සමග සංයෝගව 7 වැන්න ගෝචර මෙම වසර ශුභා ශුභ මිශ්‍ර ඵල දෙයි.

රැකියාවල එතරම් වෙනසක් සිදුනොවන අතර තරමක් වැයපස ඉහළ යන කරුණු යෙදේ. අමතර ලාබ ලැබීම් ඇතිවෙයි. ආදායම්වලට තරමක් ශුභ තත්ත්ව උදා කරයි.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි දෙදෙනා අතර මතවාද ගෙන ඒමට ඉඩ ඇති බැවින් කතාවේදී තීරණ

ගැනීමේදී දෙවරක් සිතා බැලීම ද මැනවි. අලුත් නිවාස ඉදිකිරීමට හේතුයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් නිතර යෙදේ. අවිවාහක අයගේ මංගලශීලාවේලි දෝෂ ඉවත් වෙයි. ප්‍රේම සබඳතා ප්‍රබල වෙයි.

තම ව්‍යාපාරවල බාධා ඉවත් වෙයි. අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. ශිෂ්‍යත්ව වැනි දේවල් ලැබීමට හේතුයි. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. තරමක් බුද්ධිමත් විය යුතු වසරකි. ආගම දහමට ද ලැදිව ක්‍රියා කරයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් ඇතිවෙයි. නිශ්ඵල වියදම් ඇති වෙයි.

හදිසි රෝග, කැපුම් කෙටුම්වලට හේතුයි. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතු කරයි.

ශුභ වර්ණය – සුදු, ලා නිල්

ජය අංකය – 04, 07

බෝධි වන්දනා සත්‍ය කිරීම, බෝධියක් අසලදී වන්දනාමය පූජා සිදුකිරීම ශුභයි. පලතුරු පැළ විහාරයක සිටුවා සත්කාර කරන්න. සුමන සමන් විභීෂණ ආදී දෙවිවරු උදෙසා මල් පහන් පිදීම ශුභයි.

වෘශ්චික –

ලග්නාධිපති කුජ 8 වැන්නේද කේතු 12 වැන්නේ ද සඳු 3 වැන්නේද ශනි 4 වැන්නේ ද ගුරු 5 වැන්නේ ද රවි, බුධ සමග රාහු 6 වැන්න සහ සිකුරු 7 වැන්න ගෝචර මෙම වසර ශුභා ශුභ ඵල දෙයි.

රැකීරක්‍ෂාවල තරමක් පැටලලි ස්වරූපයකට හේතු මතු කරයි. ප්‍රවේසමෙන් ක්‍රියා කළ යුතු අතර විවිධ රැකියා සඳහා යොමුවෙයි. වර්ෂයේ අගභාගය ශුභයි. ධන වාසනා ලබයි.

ගෘහ ජීවිතය ශුභයි. නීතිමය ගැටලු එල්ල වෙයි. නමුත් පීඩාවට පත් නොවේ. ප්‍රීති සාද උත්සවවලට

සහභාගිවීමේ අවස්ථා යෙදේ. දුර ගමන් වන්දනා ගමන් යෙදෙන අතර ප්‍රේම සබඳතාවන් ඇතිවෙයි. අවිවාහක නම් මංගල සීනු නාද වෙයි. පෙනෙන මෙන් නොපෙනෙන සතුරු බලපෑම් එල්ල වෙයි. යාන වාහන ලාබ ගෙන දෙයි. පදිංචියේ වෙනසකට හේතුයි. එය යහපතකට හැරේ.

අධ්‍යාපනික කටයුතුවලින් ජය ගෙන දෙයි. නමුත් දැඩි උත්සාහයෙන් ක්‍රියාකළ යුතු තරග විභාග ජය ලබයි. දහමට ද ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි මුල්වී ක්‍රියා කරයි. විරුද්ධවාදී ලිංගිකයන් සමග ඇසුර වැඩිවෙයි. අන් අයගෙන් ආධාර උපකාර ද ලබයි. තම නමට කැලැල් ඇති වීමට ඉඩ තිබේ. පපුවේ වේදනා නහර වේදනා ස්නායු පද්ධතියේ රෝගාබාධ මතුවීමට ඉඩ තිබේ. ආහාර විෂවීම්වලට හේතුයි.

ශුභ වර්ණය – රතු, දුඹුරු

ජය අංකය – 03, 08

බෝධි වන්දනාවල යෙදී ගිලනුන්ට උවැටැන් කිරීම, රතු මල්, කහ මල් පුදා තලතෙල් පහන් දල්වා ආශිර්වාද ලැබීම, පොදු ස්ථානවල පලතුරු පැළ සිටුවා සත්කාර කිරීම, ස්කන්ධ දේව ආශිර්වාද පැතීම ශුභයි.

ධනු –

ලග්නාධිපති ගුරු 4 වැන්නේ ද රවි, බුධ, රාහු සංයෝගව 5 වැන්නේ ද, සිකුරු 6 වැන්නේ සහ කුජ 7 වැන්නේ ද කේතු 11 වැන්නේ ද සඳු 2 වැන්නේ සහ ශනි 3 වැන්නේ ගෝචර මෙම වසර තරමක් ශුභවාදී ඵල දෙයි.

රැකීරක්‍ෂාවල ලාභ ප්‍රයෝජන ලබයි. උසස්වීම් තනතුරු ලාබ ලබයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. අමතර ලාභ ද ලබයි. තැන්පත් ධනය වර්ධනය වේ.

ගෘහ දිවිය ශුභයි. අඹු සැමි වාද භේද මතු කරයි. දෙදෙනා බුද්ධියෙන් ක්‍රියා කළ යුතු වසරකි. සතුරු බලපෑම් යටපත් වෙයි. ඉඩ කඩම් දේපළ පිළිබඳ ප්‍රශ්න නිරාකරණය වෙයි. මනුෂ්‍ය ගුණධර්ම තුළ නියැළීමෙන් ඇති වන පීඩා දුරුකර ගත යුතුය. ප්‍රීති සාද උත්සව වැනි දේට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විදෙස් ගතවීම්වලට හේතු වෙයි.

අධ්‍යාපනයෙන් ජය ලබයි. අලුත් දේ සම්බන්ධ ඉගෙනීමට ලැබේ. පදිංචියේ වෙනසකට හේතුයි. නව නිවාස ලාබ ලබයි. භූමිය පිළිබඳ කටයුතුවල යෙදෙන්නන්ට භූමි ලාබ සම්පත් ලබයි. චෝදනා අපවාද ලැබීමට ද ඉඩ තිබේ. ක්‍රියාවන්වලදී ප්‍රවේශම මැනවි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජා

ගරු කරයි. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි. සන්ධි ඉදිමුම් මුත්‍රා ආසාදන මේහ රෝග මතුවීම් ආදියට හේතුයි.

ශුභ වර්ණය – කහ, තැඹිලි

ජය අංකය – 04, 09

බෝධි වන්දනා ක්‍රියාවන්හි යෙදීම, කහ මල්, රතු මල් මිශ්‍රව පිදීම, තලතෙල්, අබ තෙල් මිශ්‍ර පහන් පිදීම, ශ්‍රමන බමුණන්ට ගරු බුහුමන් කිරීම, අනාගත බුද්ධ වංශය සිහිකර පලතුරු පැළ ව්‍යාපාර ස්ථානවල සිටුවා සත්කාර කිරීම් තුළින් වසර ජය ලබයි.

මකර –

ලග්නාධිපති ශනි 2 වැන්නේ ද ගුරු 3 වැන්නේ ද රවි, බුධ සමග රාහු 4 වැන්නේ ද සිකුරු 5 වැන්නේ ද කුජ 6 වැන්නේ ද කේතු 10 වැන්නේ ද සඳු ලග්නයේ ද ගෝචර මෙම වසර ශුභා ශුභ ඵල දෙයි.

රැකියා තනතුරු ලාබ ලබයි. රැකියා බලාපොරොත්තු වූවන්ට රැකියා ලාබ ලබයි. හදිසි ලාබ ද ලබයි. තම තැන්පත් ධනය වර්ධනය වන කරුණු කාරණා යෙදේ.

ගෘහ ජීවිතය ශුභයි. අඹු සැමි බැඳීම් වර්ධනය වන කරුණු යෙදේ. මානසික සුවය ගෙන දෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. අවිවාහකයන්ට ශුභයි. කලින් ඇසුරු කළ මිතුරන් දුරස්ථ කළ නිසා වරින් වර මනසට පීඩා ගෙන දෙයි. නවක මිතු සබඳතා පවත්වන්නට මාර්ග සැලසේ. නව නිවාස ලාබ ලැබීම් හෝ නිවාස සෑදීම්වලට හේතු වේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. යහපත් සේවක සේවිකා සමීප වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ශුභයි. තරුණ ශක්තිය වර්ධනය වෙයි. නව නිපැයුම් ඇරඹීමට හේතුයි. විදෙස්ගත වීමට බලාපොරොත්තු වන්නන්ට ඒ සඳහා මාර්ග සැලසේ. භූමි ලාභ භූමි සම්පත් ගෙන දෙන වසරකි. නීතිමය ගැටලු ඇතිවන බැවින් කරන ක්‍රියාවන්වලදී බුද්ධිමත් වීම ද මැනවි. දහමට ලැදිවේ. ආගමික වතාවත් පුද පූජා ආදියට මුල් තැනදී ක්‍රියා කරයි. වාතාධික රෝග සන්ධි රෝග ඉදිමුම් රෝගාදියට හේතුයි. මුත්‍රා ආසාදන මේහ රෝග ඇති වෙයි.

ශුභ වර්ණය – නිල්, දුඹුරු

ජය අංකය – 8, 3

බෝධි වන්දනාවල යෙදීම. නිල් මල්, කහ මල් පිදීම,

ගිතෙල්, අබ තෙල් පහන් පිදීම, දුගී මගී යාචකාදීන්ට සංග්‍රහ කිරීම, ශ්‍රමණ බමුණන්ට පුද පූජා පැවැත්වීම, උපුල්වන් විෂ්ණු දෙවිඳුට පූජා පැවැත්වීම ආදියෙන් ජීවිත ජය ගැනීමට හැක.

කුම්භ –

ලග්නාධිපති ශනි ලග්නයේ ද ගුරු 2 වැන්නේ ද රවි, බුධ සහ රාහු සංයෝගව 3 වැන්නේද සිකුරු 4 වැන්නේ ද කුජ 5 වැන්නේ සහ කේතු 9 වැන්නේද සඳු 12 වැන්නේ ද ගෝචර මෙම වසර ශුභයි.

රැකී රක්‍ෂාවල උසස්වීම් තනතුරු ලාබ ලැබීම්,

රැකියා ලාබ ලැබීම්වලට හේතුයි. ව්‍යාපාර ඉහළ මට්ටමක පවතී. හදිසි ධන ලාබ ද ලබයි. තැන්පත් ධනය වර්ධනය වේ.

ගෘහ ජීවිතය ශුභයි. අවබෝධයෙන් අඹු සැමි සුහදතා වර්ධනය වේ. සාමය සමගිය ඇතිවෙයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. නව නිවාස ලාබ ඇතිවේ. අන්සතු දේපළ උරුමයකට හේතුයි. අවිවාහකයන්ට මංගල සීනු නාද වෙයි. සෞන්දර්ය කටයුතුවලින් ජයග්‍රහණ උදාවෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි.

අධ්‍යාපනයේ යෙදෙන්නන්ට හොඳයි. තුරග තරග ජය ගනී, නවක පාඨමාලාවන්හි යොමුවෙයි. විදෙස්

රැකියා ලාබ ලබයි. විදෙස්ගත වූවන්ගෙන් උපදෙස් උපකාර ද ලබයි. පොළොව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන් ජය ලබයි. භූමි සම්පත් ලබයි. දහමට ලැදිව ක්‍රියා කරන වසරකි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවෙයි. ස්නායු පද්ධතියේ රෝග, රක්ත හීනතාව, අර්ශස් රෝග, බඩවැල් ආශ්‍රිත රෝග මතුවීමට ඉඩ තිබේ.

ශුභ වර්ණය – නිල්, දම්

ජය අංකය – 02, 07

බෝධි වන්දනාවල නිරතවීම, ආගමික වතාවත්වල නිරතවීම, සිර කළ සතුන් නිදහස් කිරීම, නිල් මල්, සුදු මල් පිදීම, ගිතෙල්, තල තෙල් පහන් පිදීම, ශ්‍රමණ බමුණන්ට ගරු බුහුමන් පුද පූජා පැවැත්වීම, උපුල්වන් මහා විෂ්ණු දෙවිඳුන්ට පුද පූජා තැබීම, ජය මගට උපකාර වේ.

මීන –

ලග්නාධිපති ගුරු ලග්නයේ ද, රවි, බුධ සහ රාහු 2 වැන්නේ ද, සිකුරු 3 වැන්නේ ද, කුජ 4 වැන්නේ සහ කේතු 8 වැන්නේ ද සඳු 11 වැන්නේ ද, ශනි 12 වැන්නේ ද ගෝචර මෙම වසර ශුභයි.

රැකීරක්‍ෂාවල ජය ගෙනදෙයි. රැකියා ලාබ ලබයි. ව්‍යාපාරවල වර්ධනය පෙනේ. ආර්ථික ලාබ ලබයි. තැන්පත් ධනය වර්ධනය වෙයි.

ගෘහ ජීවිතය ශුභයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. භාර්යාව ස්වාමියාටත් ස්වාමියා භාර්යාවටත් අවනතව කටයුතු කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්වල යෙදෙන අතර නව නිවාස සෑදීමට හේතු දෙන වසරකි. අවිවාහකයන්ට මංගල සීනු නාද වෙයි. රහස් සබඳතා ඇතිවෙයි. සෞන්දර්ය කටයුතුවලින් විශිෂ්ට ජය ලබයි. විදෙස් ගමන් යෙදේ. තම වටිනාකම ප්‍රදර්ශනය වේ.

අධ්‍යාපනයෙන් උසස් වෙයි. තුරග තරග ජය ගනී. යාන වාහන මිලට ගැනීම හෝ විකිණීමාදියට හේතුයි. උගතුන් වියතුන් ඇසුරට පත්වන නව නිර්මාණකරණය කරන කාලයකි. සතුරන් පරාජය වන වසරකි. පැවති ණය තුරුස්වලින් නිදහස් වෙයි. දහමට ලැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් ගරු කරයි. සෙම් රෝග බහුල වෙයි. පෙනහලු ආසාදන ඇතිවෙයි. අම්ල පිත්ත රෝගය, මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.

ශුභ වර්ණය – කහ, දම්

ජය අංකය – 03, 09

බෝධි වන්දනා ක්‍රියාවන්හි යෙදීම, කහ මල්, නිල් මල් මිශ්‍රව පිදීම, අබ තෙල් පහන් දැල්වීම, බුද්ධ වන්දනා පූජා පැවැත්වීම, යාචක, දුගී ආදීන්ට දානමාන දීම, විහාරයකදී පලතුරු පැළ සිටුවා සත්කාර කිරීම, ඊශ්වර ගනපති පූජා පැවැත්වීම ආදියෙන් බාධා ඉවත් වෙයි.

ලග්නයෙන් ලග්නයට සිංහල අලුත් අවුරුදු පලාඵල

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සහ වෛද්‍යචාර්ය, යක්කල වීරවංශ පතිරණ

advertistmentadvertistment
advertistmentadvertistment