ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමියෝ අපවත් වෙති

236

සුජිව නිවුන්හැල්ල

ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමියෝ අපවත් වෙති

ලන්ඩනයේ කිංස්බරි හි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති, එක්සත් රාජධානියේ අධිකරණ සංඝ නායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය ගලයායේ පියදස්සි නායක හිමියෝ අවුරුදු හැත්තෑපහක් ආයු වළඳා පසුගිය 19 වැනිදා අපවත් වූහ. උන්වහන්සේ හල්මිල්ලවැව ශ්‍රී සුදර්ශනාරාමයේද, හිඟුරේගම ශ්‍රී පුෂ්පාරාමයේද විහාරාධිපති හිමියෝය. එසේම පඬුවස්නුවර මුදිත ළමා නිවාසය ආරම්භ කරන ලද්දේද උන්වහන්සේය.

1947 වසරේ ජුනි මස 28 වැනිදා ගලයායේදී උපත ලැබූ උන්වහන්සේ 1970දී පැවිදි දිවියට ඇතුළත් විය. උන්වහන්සේගේ ගිහිනම අඹේකෝන් මුදියන්සේලාගේ සුරවීරය. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් උන්වහන්සේ, ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ලන්ඩන් බෞද්ධ විහාරයට වැඩම කරන්නේ 1984 වසරේදීය. ඒ වනවිට ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති වූයේ හම්මලව සද්ධාතිස්ස නායක හිමිපාණෝය.

1989 වසරේ සැප්තැම්බර් තුන්වැනිදා ලන්ඩන් බෞද්ධ විහාරයෙන් වෙන්වී යන හම්මලව සද්ධාතිස්ස හිමියෝ සහ ගලයායේ පියදස්සී හිමියෝ ලන්ඩනයේ විල්ස්ඩන් හිදී “ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය” ආරම්භ කළහ.

“ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය” 1990 වසරේ ජනවාරි පළවෙනිදා හැරෝ නගරයේ ස්ථානයකට රැගෙන ගිය අතර එම වසරේ පෙබරවාරි 13 වැනිදා හම්මලව සද්ධාතිස්ස හිමියෝ අපවත් වූහ.

1991 වසරේදී “ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය” කිංස්බරි නගරයේ දැනට විහාරස්ථානය පවතින ස්ථානයට රැගෙන ගිය අතර එය “ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය” යනුවෙන් නම් කෙරිණි.

2003 වසරේ ජූලි 16 වැනිදා බ්‍රිතාන්‍යයේ මහ රැජින පියදස්සී හිමියන්ට “එම්. බී. ඊ” නම්බු නාමය පුද කළාය. 2004 මාර්තු පස්වැනිදා පියදස්සී හිමියෝ මියන්මාර රජයෙන් මහා සද්ධම්මජෝතිකධජ නම්බු නාමය ලැබූහ.

ශ්‍රී ලංකාවේ සිට කලාකරුවන් ලන්ඩනයට ගෙන්වා සෑම වසරකම සිංහල අවුරුද්ද මහා පරිමාණයෙන් සැමරීම ආරම්භ කරන ලද්දේද පියදස්සී හිමියෝය. එසේම දහම් පාසල ආරම්භ කර ලන්ඩනයේ ඉපදුනු දරුවන් හට බුදු දහම මෙන්ම සිංහල භාෂාව ඉගැන්වීමද සිදු කෙරුණේ පියදස්සී හිමියන් ගේ අධීක්ෂණය යටතේය.

උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා දෙසැම්බර් 29 වැනිදා ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයට ගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු දෙසැම්බර් 31 වැනිදා “හෙන්ඩන්” ආදාහනාගාරයේදී කිරීමට නියමිතය.

අවමඟුල් උත්සවයට සහභාගි වීම සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි, අකුරැටියේ නන්ද හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් ද, පියදස්සී හිමියන් ගේ ඥාතීන් පිරිසක් ද ශ්‍රී ලංකාවේ සිට පැමිණීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment