ලබන අයවැය ආයෝජක හිතකාමි විය යුතුයි… මහ බැංකුවේ සය මාසික පෙරදැක්ම

164

මෝටර් රථ ආනයනයට ඉඩ ලබාදෙන්න යාන්ත‍්‍රණයක් අවශ්‍යයි
ආර්ථික වර්ධනය සියයට 6 ක පවත්වා ගැනීම ඉලක්කයයි
පොලී අනුපාතික තවදුරටත් ස්ථාවරව පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා
සංචාරක කර්මාන්තය නැවත න`ගාසිටුවීම අරමුණයි

රජය විසින් ”ආයෝජක හිතකාමී’’ අයවැයක් හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (01 දා* මහ බැංකුවේ සය මාසික පෙරදැක්ම ඉදිරිපත් කරමින් පැවසීය.

පහසුවෙන් අනුකූල විය හැකි ලෙස සැලසුම් කළ බදු ව්‍යුහයක් සමඟ මෙසේ ”ආයෝජක හිතකාමී’’ අයවැයක් හඳුන්වා දීම වැදගත් බවත්, එසේම රාජ්‍ය මූල්‍ය හිඟය තිරසර ලෙස අඩු කිරීම කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

ආර්ථික ස්ථායීතාවයට අදාළව රජය විසින් සැලකිලිමත් විය යුතු කරුණු ගැන පැහැදිලි කරමින් කබ්රාල් මහතා මේ බව කියා සිටියේය.

විදේශ මුදලින් රජයට අදාළ බදු ගෙවීම් සහිතව විදේශ විනිමය ඉපයීම් සහ සෘජු ආයෝජන යොදා ගනිමින් මෝටර් රථ ආනයනයට ඉඩ ලබාදීම සඳහා යාන්ත‍්‍රණයක් හඳුන්වා දීමටද රජය මගින් සැළකිලිමත් විය යුතු යැයි මහ බැංකු අධිපතිවරයා කීවේය.

වර්තමාන ආර්ථික අභියෝග පිළිබඳව තැතිගැන්මක් පවතී. විපක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් විසින් නිතිපතා සෘණාත්මක වාර්තා පළ කිරීමද අයහපත් මත ඇතිවීම කෙරෙහි දායක වී ඇත. 2021 පළමු භාගයේ දී ආර්ථිකය සියයට 8 කින් වර්ධනය වුවද, වසංගතය හේතුවෙන් ශ‍්‍රම වෙළඳපොළට සිදු වූ අවහිරතා නිරීක්ෂණය කළ හැකිවිය. කොවිඞ්-19 වසංගත තත්ත්වයේ අහිතකර බලපෑම් මධ්‍යයේ විදේශීය අංශය පෙර නොවූ ආකාරයේ අභියෝගයන්ට මුහුණ දුන්නේය. සමස්තයක් ලෙස උද්ධමනය පහළ මට්ටමක පැවතිය ද, මුදල් සහ ණය සැපයුමෙහි සැලකිය යුතු ඉහළ යෑමක් නිරීක්ෂණය කරන ලදී. සංඛ්‍යාත්මකව බැලූ විට වසංගත තත්ත්වය සඳහා රජය සහ මහ බැංකුව විසින් දැක්වූ ප‍්‍රතිචාරයන් ඉතා ඉහළ මට්ටමක වූ අතර ඇතැම් විට ඊට නිසි පිළිගැනීමක් නොලැබුණි. ඇත්ත වශයෙන්ම, එන්නත්කරණ ක‍්‍රියාවලියෙහි ශීඝ‍්‍ර ප‍්‍රගතිය සහ ගෝලීය සංචරණ සීමා ක‍්‍රමයෙන් ඉවත් කිරීම වඩා යහපත් අනාගත අපේක්ෂාවන් සඳහා බලාපොරොත්තු ඇති කරවන බවද අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය.

අතීතයේ දී පවා අප විශාල අභියෝගවලට මුහුණ දී ඇත. 2009 වසරට පෙර පැවති ඉලක්කම් දෙකක මට්ටමේ උද්ධමනය සහ ඒ හේතුවෙන් අවශ්‍ය වූ ඉහළ වෙළඳපොළ පොලී අනුපාතික විදේශ විනිමය සංචිත ක්ෂය වීම, විදේශීය අංශයේ අසමතුලිතතා සහ විදේශ විනිමය පාලනය කිරීම්, ශ්‍රේණිගත කිරීම් පහත වැටීම, ණය මට්ටම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 ට වඩා ඉක්මවා දිගු කාලයක් පැවතීම වැනි අභියෝගද තිබුණි. මෙවන් පසුබිමකදී, මෙම අභියෝගවලට තිරසාරව මුහුණදීම සඳහා සියලූ පාර්ශ්වකරුවන්ට ඔවුන්ගෙන් අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව අප දැන් පැහැදිලි කිරීමක් සිදුකළ යුතුය. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සහ සාර්ව ආර්ථික ස්ථායීතාව ලබා ගැනීම සඳහා කාල රාමු ත‍්‍රිත්වයකින් යුතු සැලැස්මක් යෝජනා කරන බවත් මේ අනුව කෙටි කාලීනව, එනම් මීළඟ මාස හය පිළිබඳව, සමීපව අවධානය යොමු කරමින් විදේශ අංශයේ ස්ථායීතාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කඩිනම් පියවර ගනු ඇති බවද කබ්රාල් මහතා කීවේය.

විදේශ විනිමය අභියෝගය සහ ණය සේවා අවශ්‍යතා සැලකිල්ලට ගෙන, මෙම කාලපරිච්ෙඡ්දය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් ආර්ථිකය නැවත නඟාසිටුවීමට හැකි වන පරිදි පැහැදිලි බව සහ නිශ්චිතභාවය ඇති කිරීම මෙලෙස කෙටිකාලීන වශයෙන් අවධානය යොමු කිරීම සඳහා මූලික හේතුව වේ. එම මාස 6 ක කාලසීමාව අවසන් වනවිට, වෙළෙඳ භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම සඳහා දැනට ගෙන ඇති ප‍්‍රයත්නයන් සැලකිය යුතු ප‍්‍රගතියක් පෙන්නුම් කරනු ඇති අතර, සංචාරක අංශයෙන් ලැබෙන මුදල් ප‍්‍රවාහ යථා තත්ත්වයට පත්වීමට ද ඉඩ තිබෙනවා. වරාය නගරය සහ කාර්මික කලාප ආරම්භ වීමත් සමඟ සෘජු විදේශ ආයෝජන ගලා ඒම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. රාජ්‍ය ණය ආශ‍්‍රිත ප‍්‍රධාන ගැටලූ සඳහා පැහැදිලි ප‍්‍රතිපත්තිමය ප‍්‍රතිචාර අවශ්‍ය වනු ඇත. බැංකු අංශය ශක්තිමත්ව පවතින නමුත් ගැටලූ කිහිපයක් සමඟ කටයුතු කිරීමට සිදුවේ. පසුගිය වසර කිහිපය තුළදී තීව‍්‍ර වූ අභියෝග කිහිපයකට බැංකු නොවන අංශයට මුහුණ දීමට සිදු වුණා. අපනයනකරුවන් සම්බන්ධයෙන් සැලකීමේ දී, භාණ්ඩ ප‍්‍රවාහනය හා අනුරූපීව මුදල් ගලා ඒමක් දක්නට ලැබුණේ නැහැ. ආනයන සහ ආනයනකරුවන් සම්බන්ධයෙන්ද යම් පීඩන ඇතිවෙමින් පවතිනවා. සේවා අපනයනකරුවන් (සංචාරක ඉපැයීම් හැර* කෙරෙහි වසංගතයෙන් ඇති වූ බලපෑම අඩු බව පිළිබිඹු වෙනවා. කර්මාන්තකරුවෝ ද අභියෝග රැුසකට මුහුණ දුන්නා. සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීමේ ක‍්‍රියාමාර්ග සහ සංචාරකයන්ගේ හිඟය හේතුවෙන් විදේශ විනිමය හුවමාරුකරුවන්ට බරපතළ ගැටලූ රැුසකට මුහුණ දීමට සිදු වුණා. රජයේ ඇතැම් ප‍්‍රතිපත්ති ප‍්‍රතිචාර මගින් සහයක් සැලසුණද, වසංගතය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාව අභියෝගයන්ට මුහුණ දී ඇත. මේ අනුව කළ යුතු කාර්යයන් ලැයිස්තුව මගින් ප‍්‍රධාන අභියෝගවලට ප‍්‍රතිචාර දක්වනු ලබන බවද ඔහු සඳහන් කළේය.

මේ යටතේ රජය විසින් ජනාධිපති කාර්යසාධක බළකාය හරහා විදේශ විනිමය ප‍්‍රවාහ (අපනයන සහ ආයෝජන* අධීක්ෂණය කිරීම, මූල්‍ය ලැබීම් ශක්තිමත් කිරීම සඳහා කෙටිකාලීනව සහ මධ්‍යකාලීනව මූල්‍ය ණයක් ලබා ගැනීමට අදාළ රජයයන් සමඟ උසස් මට්ටමේ සාකච්ඡුා සිදු කිරීම, තෝරාගත් උපායමාර්ගික නොවන සහ අඩුවෙන් භාවිතයට ගෙන ඇති වත්කම්වලින් මුදල් ඉපැයීම, වරාය නගරය සඳහා විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වරාය නගර කොමිසමේ අතුරු නීති ප‍්‍රකාශනයට පත් කිරීම, නව විදේශීය සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඖෂධ සහ අංශ කිහිපයක අනෙකුත් කර්මාන්ත සඳහා වෙන්කරන ලද කර්මාන්ත කලාප ප‍්‍රවර්ධනය කිරීම, මූල්‍ය පනත ඔස්සේ බදු සමාව ක‍්‍රියාත්මක කිරීමෙන් මුදල් ගලා ඒම් සඳහා පහසුකම් සැලසීම, වසර එකහමාරකින් කල් ඉක්ම වූ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේ පදනම් වර්ෂය වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය තවදුරටත් ප‍්‍රමාද නොකිරීමෙන් ආර්ථිකයේ සත්‍ය ධාරිතාව පිළිබිඹු කිරීම සහ සවිස්තරාත්මක මූල්‍යන ක‍්‍රමෝපායන් සමඟ ව්‍යාපාර හිතකාමී අයවැයක් ප‍්‍රකාශයට පත් කිරීම කළ යුතුව ඇති බවත්, ඇතැම් ඒවා දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.

අපනයනවල දේශීය අගය එකතු කිරීම ප‍්‍රවර්ධනය කිරීමට සුදුසු බදු ගැළපුම් හඳුන්වා දීම, අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහතික කිරීම සහ මංගත සහ අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය කාන්දුවීම් අධෛර්යමත් කිරීම කළ යුතු අතර ආනයන ආදේශන දිරිගැන්වීම දැනටම ක‍්‍රියාත්මක වේ. විදේශ මුදලින් රජයට අදාළ බදු ගෙවීම් සහිතව විදේශ විනිමය ඉපැයීම් සහ සෘජු ආයෝජන යොදා ගනිමින් මෝටර් රථ ආනයනයට ඉඩ ලබාදීම සඳහා යාන්ත‍්‍රණයක් හඳුන්වා දීම සලකා බැලීමට යෝජනා කරනවා. සංචාරක කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා මුළු රටම වහාම සූදානම් කිරීම අවශ්‍ය වන අතර එය දැනට ක‍්‍රියාත්මක වෙන බව ද ඔහු කීවේය.

මහ බැංකුව විසින් ඉන්ධන වියදම සඳහා වැයවෙන මුදලෙන් කොටසක් මූල්‍ය ණය සඳහා වෙළඳපොළ වෙත විදේශ විනිමය ද්‍රවශීලතාව සැපයීම, විදේශ රටවල් සමග කෙටිකාලීන විනිමය හුවමාරු පහසුකම් සඳහා එළැඹීමට සාකච්ඡුා කිරීම (ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කි*, රජයන් අතර විදේශ විනිමය ගලා ඒම සඳහා පහසුකම් සැලසීම, වර්ෂ 2024 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක් ලෙස ජාත්‍යන්තර බැඳුම්කර වගකීම අඩුකර ගැනීමට කටයුතු කිරීම සහ ඉන් අනතුරුව එය එම මට්ටමේ පවත්වාගෙන යෑම, ණය නොවන විදේශ විනිමය ලැබීම් සඳහා පහසුකම් සැලසීම, අවසර ලබා දී ඇති හර කිරීම්වලින් පසුව අපනයන ඉපයීම් පරිවර්තනය කිරීම සඳහා අපනයනකරුවන්ට විධාන නිකුත් කිරීම සහ 2020 සිට රැුස් කරගෙන ඇති අපනයන ඉපැයීම් ඉදිරි මාස 6 තුළදී කොටස් වශයෙන් පරිවර්තනය කිරීම සඳහා අපනයනකරුවන්ට විධාන නිකුත් කිරීමටද නියමිත අතර මූල්‍ය ප‍්‍රවාහයන් වඩාත් සමීපව නිරීක්ෂණය කිරීම තහවුරු කිරීම සඳහා නිසි ක‍්‍රමවේදයන් සකස් කෙරෙමින් පවතින බවද කබ්රාල් මහතා කීවේය.

රජයේ සුරැුකුම්පත් වෙත විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට දරන උත්සාහයන් වේගවත් කරනවා.

ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙත විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා එම බැඳුම්කරයන්හි ආයෝජක පදනම විවිධාංගීකරණය කරනවා. දේශීය වෙළඳපොළ තුළ මූල්‍යකරණ ප‍්‍රයත්න වෙළඳපොළ ප‍්‍රවණතා සමග අනුකූල කරනු ලබන අතර, වසරක් තුළ දී ණය කල්පිරීම් ක‍්‍රමයෙන් අඩු කිරීමට අපේක්ෂිතය. මැදිකාලීනව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය තොගය ක‍්‍රමයෙන් අඩු කෙරෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතය සමඟ සම්බන්ධ කෙරෙනවා. විදේශ විනිමය සංචිතය කළමනාකරණය කිරීමේදී, ණය ගැනීම් තුළින් සංචිත ගොඩනැගීම සහ අඩු ඉපයීම් ලැබෙන ගෝලීය වත්කම් තුළ ආයෝජනය කිරීම අතර වෙනස කෙරෙහි නිසි සැලකිල්ලක් දක්වන බවද ඔහු සඳහන් කළේය.

වෙළඳ භාණ්ඩ අපනයනකරුවන් අපනයන ඉපැයීම් අපේක්ෂිත කාලය තුළදී රටට ගෙන්වා ගැනීම තහවුරු කිරීම, අපනයන මගින් ඉපැයූ විදේශ විනිමය, අන්තර්භාණ්ඩ සහ ආයෝජන යෙදවුම් සඳහා අවසරලත් කොටසක් භාවිත කිරීමෙන් පසුව, ශ‍්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කිරීම කළ යුතු වෙනවා. 2020 සිට මේ දක්වා කාලය තුළ බැංකුවල තැන්පතු ලෙස පවත්වාගෙන යනු ලබන අපනයන ඉපැයීම් මහ බැංකුවේ නියෝග අනුව රුපියල්වලට හුවමාරු කිරීම කළ යුතු අතර මෙම ශේෂයන් අපනයනකරුවන් විසින් ඉදිරි මාස 06 ක කාලය තුළ කොටස් වශයෙන් රුපියල්වලට හුවමාරු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. භාණ්ඩ සහ වෙළඳපොළ විවිධාංගීකරණය තුළින් අපනයන ව්‍යාපාර පුළුල් කිරීම, ඉහළ අගය එකතු කළ නිෂ්පාදන වෙත වඩාත් යොමුවීම සඳහා පදනම සැකසීම, ව්‍යාපාර පුළුල් කිරීම සහ දේශීය අගය එකතු කිරීම් වැඩිදියුණු කිරීම සඳහා විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ශ‍්‍රී ලංකා සන්නාමය ප‍්‍රවර්ධනය කිරීම යනාදිය දැනට ක‍්‍රියාත්මකව තිබෙනවා. පුද්ගලික විදේශ මුදල් ගිණුම්, අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්, නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් සඳහා කිසිදු ආකාරයක වෙනසක් සිදු නොකරන අතර ඔවුන්ට වර්තමානයේ භුක්ති විඳින පහසුකම් සහ වරප‍්‍රසාද කිසිදු වෙනසකින් තොරව හිමිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ආනයනකරුවන් විසින් ආනයන සඳහා වන සමපේක්ෂණ ඉල්ලූම සහ විශාල තොග රැුස්කිරීමෙන් වැළකීම, සමපේක්ෂණ මිල ඉහළ නැංවීම් හරහා අධික ලාභ ලැබීම වෙනුවට තම පිරිවැය මත සාධාරණ ලාභයක් රඳවා ගනිමින් දේශීය වෙළඳපොළ වෙත භාණ්ඩ සැපයීම, දේශීය යෙදවුම් භාවිත කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ව්‍යාපාර විවිධාංගීකරණය කිරීම කළ යුතු අතර අපේක්ෂිත විදේශ ගලා ඒම මත පදනම්ව, අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන ආනයන සඳහා ආන්තික තැන්පතු අවශ්‍යතා ඉවත් කෙරෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීම පුළුල් වනු ඇති අතර ඉදිරි කාලපරිච්ෙඡ්දයේදී ආර්ථිකය වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී ලෙස ආර්ථික ක‍්‍රියාකාරකම්වල යෙදෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අවිධිමත් ව්‍යාපාර සහ දෛනික වැටුප් ලබන්නන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ඇතුළත් වේ. ප‍්‍රාග්ධන වෙළෙඳපොළට අදාළ නව නීති හඳුන්වා දීමත් සමඟ ආයෝජන වාතාවරණය ක‍්‍රමයෙන් වැඩිදියුණු වනු ඇත. වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත ක‍්‍රියාත්මක කිරීම හා ප‍්‍රයෝජනයට නොගත් වත්කම් මුදල් බවට පත්කිරීමත් සමඟ තවත් සෘජු ආයෝජන ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක කර්මාන්තය වර්ධනය වීමත් සමග විදේශීය අංශයේ පීඩනය ක‍්‍රමයෙන් සාමාන්‍යකරණය වන අතර විනිමය අනුපාතයේ වැඩි ස්ථාවරත්වයක් සහ ජංගම ගිණුමේ ශේෂය හිතකර ලෙස වර්ධනය වීම සහ විදේශ විනිමය සංචිත වර්ධනය වීම අපේක්ෂා කෙරේ.

කෙටිකාලීන බාධක ජය ගැනීමෙන් පසුව, 2022 වසර සහ ඉන් ඉදිරියට වැඩි විශ්වාසයක් සහිතව ඉදිරියට යෑම අපගේ ඉලක්කයයි. 2022 වසර අවසානය වනවිට තවත් ධනාත්මක ප‍්‍රතිඵලයන් අපි අපේක්ෂා කරනවා. කොවිඞ් වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග ආර්ථික කටයුතු ක‍්‍රමයෙන් සාමාන්‍යකරණය වීම සහ එහි ප‍්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය සියයට 6 ක පමණ මට්ටමක පවත්වා ගැනීම, පොලී අනුපාතික තව දුරටත් ස්ථාවරව පවත්වා ගැනීම, ව්‍යාපාර සඳහා වඩාත් හිතකර පරිසරයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තය නැවත නගාසිටුවීම, ඉහළ ආයෝජන ප‍්‍රවාහ වැඩිදියුණු වූ සාර්ව ආර්ථික මූලිකාංග සමඟ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යෑම, ශක්තිමත් සහ විනයකින් යුක්ත ආර්ථික තත්ත්වයක් අපේක්ෂා කරනවා. මෙය ගතික සැලැස්මක්. ඉදිරියේදී අප විසින් මෙම සැලැස්ම වැඩිදියුණු කිරීම, එයට යම් හැඩගැසීම් සිදු කිරීම හෝ එහි සමහර අංශ වෙනස් කිරීම පවා සිදු කරනු ඇති බවත් කිව යුතුයි.

මේ පෙර දැක්වීම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ බැංකු හා මූල්‍ය ආයතන නිලධාරීහු රැුසක් සහභාගි වී සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment