ලබන මසට පෙර ගල්අඟුරු ගෙන්වා නොගත්තොත් පැය 10 ක් රට අඳුරේ

136

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අඩුම ටෙන්ඩරයට අදාළව ගල්අඟුරු ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් නොරොච්චෝල බලාගාරය අක්‍රියවී දෛනිකව පැය 10 ක විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් ඇතැයි ගල්අඟුරු බලාගාරයේ සාමාන්‍යාධිකාරි නාමල් හේවගේ මහතා පැවැසීය.

බලාගාරයට ගල්අඟුරු ලබාදීම සඳහා වූ ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය පිරිනමා තිබියදී යම්යම් බලවේග එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන නිසා රජයෙන් නිසි අවසරයක් ලැබෙන තෙක් ගල්අඟුරු සැපයීම් කළ නොහැකි බව එම සමාගම දැනුම්දී තිබෙන බවද හේවගේ මහතා කීය.

මෙම සමාගම මූලික ගෙවීමක් නොකර මාස 06 කින් පසු මුදල් ගෙවීමේ එකඟතාව මත ගල්අඟුරු සැපයීමට ඉදිරිපත්වී ඇති බවත් පැවසූ ඒ මහතා දැනට බලාගාරයේ යන්ත්‍ර තුනෙන් දෙකක් ක්‍රියාත්මක වන බවත් අනික් යන්ත්‍රය ලබන මස 12 ත් 15 ත් අතර කාලයේදී ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

ලබන මස 25 දා වනතෙක් සෑහෙන ගල්අඟුරු දැනට රට තුළ පවතින බවත් ඒවා අවසන් වීමට පෙර කඩිනමින් ගල්අඟුරු ගෙන්වා ගත යුතු බවත් ඒ මහතා පැවැසීය. දින 40 කට පමණ ගල්අඟුරු රට තුළ තිබුණත් අලුතෙන් ගල්අඟුරු ගෙන්වා ගැනීමටත් දින 40 ක් පමණ ගතවන නිසා රජය කඩිනමින් පියවර ගතයුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment