ලබන මහ කන්නයේ සිට රජයෙන් පෝර නෑ මුදල් දෙනවා – ඇමැති අමරවීර

70

ලබන වසරේ (2023) මාස් කන්නයේ සිට ගොවීන්ට රජයෙන් පොහොර ලබාදීමෙන් ඉවත් වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණ කර ඇතැයි කෘෂිකර්ම හා වනජීවී ඇමැති මහින්ද අමරවීර මහතා “දිවයින”ට ඊයේ (13 දා) පැවසීය.

රජය මගින් පොහොර ගෙන්වා බෙදාදීමේදී ගුදම් ගාස්තු, ප්‍රවාහනය ඇතුළු වියදම් සඳහා විශාල මුදලක් වැයවන බවත් එම වැයවන මුදල ගොවීන්ට ලබාදී පෞද්ගලික අංශයෙන් පොහොර ගැනීමට ඉඩ ලබාදීම වාසි සහගත නිසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත් ඇමැතිවරයා කීය.

පසුගිය යල කන්නයේදී පොහොර ගෙන්වීමට අමතරව ලොරි කුලී, ඉන්ධන, කම්කරු කුලිය ඇතුළු වියදම් සඳහා රුපියල් කෝටි 150 ක් පමණ වැයවී ඇති බවත් මේ වනවිට මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීම සඳහා රුපියල් කෝටි 650 ක් පමණ වැයවන බවත් ඇමැතිවරයා පැවසීය.

මෙවැනි විශාල වියදමක් දැරීමට සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර, පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට ලබාදීමටත් ඔවුන් ගෙන්වන පොහොරවල ප්‍රමිතිය පරික්‍ෂා කර ගෙන්වීමට පෙර පොහොර ලේකම්කාර්යලය ඇතුළු ආයතනවල අනුමැතිය ලබාගත යුතු බවත් ඇමැතිවරයා කීය.

මේ වනවිට ගොවීන් සම්බන්ධ තොරතුරු සහ ඔවුන්ගේ ගිණුම් අංක පොහොර ලේකම් කාර්යාලය සතුව පවතින නිසා ගොවියකුට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට රුපියල් 50,000 ක් හෝ 60,000 ක් එසේ නැතිනම් වෙනත් මුදලක් ද යන්න රජය තීරණය කර ගොවීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට තීරණය කර ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

අරුණ බෝගහවත්ත – චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment