ලබන මාර්තු වනවිට අනිවාර්යයෙන්ම පළාත් පාලන ඡන්දය තියන්න

107

කාදිනල්තුමා මැ.කො.ගෙන් ඉල්ලයි

ලබන මාර්තු මාසය වනවිට අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේය.

රාගම ශ්‍රී හෘදය දේවස්ථානයේදී පෙරේදා (25 දා) පැවැති දේව මෙහෙයකදී කාදිනල්තුමා මේ බව පැවසීය.

මැතිවරණයක් පැවැත්වුවහොත් පවතින රජයට ප්‍රජාතන්ත්‍රවාදීව පිළිතුරු දීමට ජනතාවට අවස්ථාව සැලසෙන බව පැවසූ කාදිනල්තුමා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද මෙරට මධ්‍යම පන්තියත් දිළිඳු තත්ත්වයට වැටිලා. බොහෝ දෙනාට ආහාර නැහැ. ලෝකෙම පේන්න කුලුනු හැදුවට ලෝකෙට පම්පෝරි ගසා ගුවන් යානා නොඑන ගුවන් තොටුපළ හැදුවට අද බොහෝ පිරිසක් කන්න වේලක් නැතිව ජීවත් වෙනවා. ආසියාවේ ආශ්චර්ය කරන්න නත්තලට කොළඹ නගරය සුරපරයක් කරන්න හැදුවට නායකයන්ට ඕනේ සංචාරකයන්ට එහෙම පෙන්වන්න විතරයි. ජනතාව ගැන සෙවිල්ලක් නැහැ.

පාර්ලිමේන්තු ගිහින් හොඳට කාබී ඇඳුම් ඇඳ ගන්නත් බැරි විදිහට මහත්වී මෝඩ කතා කියමින් ජනතාව මෝඩයාට අන්දවමින් දෙසිය විසිපහම මොන්ටිසෝරි ළමයි වගේ හැසිරෙනවා. එක පිරිසක් අනෙක් අයට හොරු කියනවා. අනෙක් අයත් ඒ අයට හොරු කියනවා. බැලුවම හැමෝම හොරු.

මේ රටේ ජනතවාගෙන් මිලියන 8.3ක් දවසට කන්නේ එක වේලයි. බතුයි, පොල් සම්බෝලයි, එක එළවළුවයි. නමුත් මැති ඇමැතිවරු වේල් තුනම කනවා. අරගලයේ තරුණ තරුණියන් හාරදහසක් පමණ ඇතුළට දානවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? නායකයන්ට ඕනෑ විදිහට මැතිවරණ තියන්න මැතිවරණ කොමිසම කටයුතු කළොත් ඔවුන් කරන්නෙත් රට පාවාදීමක්. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වීම සඳහා මැතිවරණයට අවස්ථාව ලබාදෙන්න. ඒක අපේ අයිතියක්.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment