ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද මැතිසබයට

53

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතය.

මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය 07 දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය විය.

පාර්ලිමේන්තුව අද සිට 21 වැනිදා දක්වා රැස්වේ. අද පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වේ.

හෙට (19 වැනිදා) අධිකරණ අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් 6 ක් විවාදයට ගැනීමට නියමිතය. මේ අනුව විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන), නොතාරිස් (සංශෝධන), ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන), ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), අන්තිම කැමති පත්‍ර (සංශෝධන), වංචා වැළැක්වීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් විවාදයට ගැනේ.

ඔක්තෝබර් 20 සහ 21 දෙදින විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වෙයි. ලබන 21 වැනිදා සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීම සිදු කෙරේ.

රනිල් ධර්මසේන, අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment