ලබන වසරේ ජනවාරි දක්වා අඛණ්ඩව පෙට‍්‍රල් සපයනවා – බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල

413

ලබන වසරේ ජනවාරි මාසය දක්වා අඛණ්ඩව පෙට‍්‍රල් සැපයීම සහතික කර ඇති බව බලශක්ති ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ කරුණු අනාවරණය කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය. එහිදී ඔහු මෙසේද කීය.

‘‘යමක් 108 වතාවක් ජප කළොත් ඒක ඇත්තක් වෙනවා කියා පුරාණ ගැමි විශ්වාසයක් තිබෙනවා. දැන් මාස තුනකට වැඩි කාලයක් තිස්සේ තෙල් හිඟයක් ඇති වන බව විපක්ෂයේ මන්ත‍්‍රීවරු ජප කරන්නේ එහෙම කිව්වාම ඇත්තටම තෙල් හිඟයක් ඇති වේවි කියන අන්ධ විශ්වාසයෙන් බවයි පේන්නේ. ඇත්තටම විපක්ෂයට අවංකවම ප‍්‍රශ්නයක් තියෙනවා. රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති වුණාම මුලින්ම ඇතිවෙන්න ඕනෑ තෙල් හිඟය. ලෝකයේ අනික් රටවල වුණෙත් එහෙමයි. මේ මොහොතේ වෙමින් පවතින්නේ ද එහෙමයි. අපේ සමස්ත ආනයන වියදමින් 20% ට වඩා වැය වන රටේ ප‍්‍රධානම ආනයන භාණ්ඩය මෙයයි.

ඒ වගේම තෙල් කියන එක ආවට ගියාට කඩෙන් ගේන්නත් බැහැ. මාස ගාණක් පුරා ලෑස්ති වෙන්නට ඕනේ. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ පාන්නේ තෙල් හිඟයකට.

විපක්ෂ නායකතුමා, ආචාර්ය හර්ෂ සිල්වා, මුජිබර් රහ්මන්, සුනිල් හඳුන්නෙත්ති යන මන්ත‍්‍රීවරු කියන්නේ මාස තුනක ඉඳලයි. රනිල් වික‍්‍රමසිංහ මහතා නම් තුන් පාරක්ම කිව්වා. අවසානයට කිව්වේ පසුගිය සඳුදා. තමුන්නාන්සේලාගේම මාධ්‍යවල පරණ ප‍්‍රවෘත්තිවලට ගිහින් බැලූවොත් අපිට පේනවා නුදුරු දිනකදී වෙනවා කියන්නේ මාස තුනක ඉඳලයි. එහෙම එකක් වුණේ නෑ. එහෙම නොවෙන තත්ත්වයට වගබලා ගැනීම තමයි අපේ වගකීම වෙන්නේ.

ඔක්තෝබර් 1 දා දක්වා රට වසා දැම්මේ ඉන්ධන හිඟය ඇති වීම මඟහැරීමට බවටත් සමහරු කියනවා. රට වහන්නට කලින් විපක්ෂයේ ප‍්‍රධානතම සටන් පාඨය වුණෙත් රට වහන්න කියන එකයි. විපක්ෂය විසින් දිගින් දිගටම රට වසා දමන්නැයි ආණ්ඩුවට බලපෑම් කළෙත් ඉන්ධන හිඟය ඇතිවීම වැළැක්වීමට දැයි අපි ප‍්‍රශ්න කරනවා. ඒ නිසා රට වැසීම පිළිබඳ කාකතාලිය න්‍යායෙන් බොරු ඇද බාන්න එපා කියා විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය මාසවල විදේශ විනිමය හිඟයකට අපි මුහුණ පෑවත් සීමිත විදේශ විනිමය ප‍්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කළ නිසා ඉන්ධන හිඟයක් ඇති වුණේ නෑ. සෑම මසකම ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 200 බැගින් අපට ලබාදීමට නව මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ පෑවත් ඛනිජ තෙල් ආනයනයට ඉන් කිසිම බලපෑමක් සිදු වන්නේ නෑ කියන එක අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන්.

එරික් ගාමිණී ජිනප‍්‍රිය
 

advertistmentadvertistment
advertistmentadvertistment