ලබන වසර මැද වන විට රට දැවැන්ත ආහාර අර්බූදයකට යනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

78

* පොහොර නැතිව තේ කර්මාන්තයත් අනතුරේ

වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි දර්ශනයක්, වැඩපිළිවෙලක් නොමැති කම නිසා මේ වනවිට රට දැවැන්ත අර්බුදයකට තල්ලූ වී තිබෙන බවත් ලබන වසරේ මැද භාගය වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීමට නොහැකිව රටේ ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල, අක්මීමන සහ හබරදුව මැතිවරණ කොට්ඨාසවල නායකයන් දැනුවත් කිරීම සහ පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල ආරම්භ කිරීම නිමිත්තෙන්, ගාල්ල එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී පෙරේදා (10 දා) පැවැති විශේෂ රැස්වීමකදීය.

මෙම රැස්වීමට ඉහත කොට්ඨාස නියෝජනය කරමින් ඒවායෙහි එජාප නායකයන් හා ක‍්‍රියාකාරීන් රැසක් සහභාගි වූ අතර එහිදී තවදුරටත් අදහස් දැක් වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

ගාල්ල දිස්ත‍්‍රික්කය ගත්තොත් තේ කර්මාන්තය මේ කතා කරන අවස්ථාවේ පවා බරපතළ ඛේදවාචකයකට මුහුණ පා තිබෙනවා. මේ සිදුවෙලා තියෙන අලාභය නැවත යථා තත්ත්වයට ගන්න වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව නැවත මේවා කප්පාදු කරලා නියමිත පරිදි පොහොර යොදලා දලූ කඩන්න පුළුවන් තත්ත්වයට ගෙන එන්න කාලයක් ගන්නවා. ඒ නිසා තමයි අපි කීවේ රසායනික පොහොර ගෙන්වීම අවස්ථානුකූලව කළ යුතු බවට යෝජනා කළේ.

ලෝකයේ තත්ත්වයෙන් උසස් පොහොර නොමිලේ හෝ රුපියල් 350 ක් වැනි අඩු මුදලකට ලබාදෙන්නත් බැහැ. නමුත් ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණින් දේශපාලනඥයෝ ජනතාවට ලබාදුන් පොරොන්දුවලට අනුව බාල පොහොර වර්ග යෙදීමෙන් සම්පූර්ණයෙන්ම අපේ පස විනාශ වෙලා තිබෙන්නේ. එම නිසා අපේ මහජනතාව, ගොවි ජනතාව කල්පනාවෙන් ක‍්‍රියා කළ යුතුව තිබෙනවා. මොකද එක පාර්ශ්වයක් කියනකොට රුපියල් 350 ට පොහොර දෙනවා කියලා අනිත් පාර්ශ්වය කියනවා නොමිලේ දෙනවා කියලා. මෙහෙම රටක් ගෙනියන්න බැහැ.

ඒක හරියට ජනාධිපතිවරණයේදී වතු ජනතාවට රුපියල් 1000 ක් දෙනවා කියලා එක වේදිකාවක කියනකොට අපේ වේදිකාවේ කියනවා 1500 ක් දෙනවා කියලා. මෙලෙස මේවා අම්මා

තාත්තගෙන් හෝ ගෙදරින් ගෙනත් දෙන්න බැහැ. දෙන්න ඕන මහජනතාවගේම මුදල්වලින්. ඉතින් ඒ නිසා තමයි මේ බොරුව සමාජයේ අවසන් කළ යුතුව තිබෙන්නේ. එමෙන්ම අද රට පුරා ඇතිවෙලා තිබෙන කිරි පිටි පෝලිම්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම් මම අහගෙන හිටියා මගේ මිත‍්‍ර තෙල් ඇමැතිතුමා කියනවා සාමාන්‍යයෙන් දින 90 කට තියෙන්න ඕන. නමුත් දැන් තිබෙන තෙල් ප‍්‍රමාණය දින 10 ටත් අඩුයි. ඉතාම අවාසනාවන්ත තැනකට රට පත් කරලා තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, රවින්ද්‍ර චන්ද්‍රලාල් – හිනිදුම

advertistmentadvertistment
advertistmentadvertistment