ලබන වසර මුලදී කහවලින් රට ස්වයංපෝෂිතයි… කර්කියුමින් ප‍්‍රතිශතය අනුව අපිට තිබෙන්නේ හොඳම කහ

1159

මේ දිනවල නොමේරූ කහ ගලවන්න එපා, අස්වැන්නත් අඩුයි, බීජ ලෙස ගන්නත් බෑ

ස්වයංපෝෂණයෙන් පසු කළයුත්තේ අපනයනයට ‘කාබනික කහ’ සෑදීම….

මුළුතැන්ගෙය තුළදී ඉතා කුඩා ප‍්‍රමාණයකින් වුවමනා වුවද කහ කුඩු ඇබිත්තක අගය පසුගිය වකවානුවේදී ලොකුවට සමාජයට දැනුනේ හොද්දෙහි කහපාට නොමැතිව බත්පතෙහි වර්ණය බොඳවී යාමත් සමගය. කහපාට කෑම වේලක හදිස්සිය කෙතරම් ඉදිරියට ආවාද කියනවානම් අනවසරයෙන් රැගෙන එන කහ තොග අත්අඩංගුවට ගන්නා ආරංචිද නිතර දෙවේලේ අසන්නට ලැබුණි. තවමත් සාධාරණ මිලක් ගෙවා කහකුඩු පැකට්ටුවක් ගෙදර ගෙනියන්නට පාරිභෝගිකයාට නම් අවස්ථාව උදාවී නැත. පසුගිය සතියේ වෙළඳපොලේදී මා දුටුවේ එක්තරා සමාගමක් මගින් රුපියල් 495 ක මුදලකට විකිණීමට තබා තිබුණු ග‍්‍රෑම් 50 ක කහකුඩු පැකට්ටුවකි. එනම් කිලෝව රුපියල් 9900 කි. තවත් වෙළඳ සන්නාමයක් යටතේ තිබුණේ රුපියල් 400 කටය. එනම් කිලෝව රුපියල් 8000 කි. මේ දෙකම අස්වාභාවික මිලගණන් වන අතර සුළු ප‍්‍රමාණයෙන් පරිභෝජනය කෙරුවත් මෙවැනි මිලකට කහ අනුභව කිරීම මෙරට ආර්ථික රටාව තුළදී ප‍්‍රායෝගික නොවේ. 2019 වසරේ රජය මගින් ආනයනය තහනම් කර දේශීය නිෂ්පාදනයට ගොවියාව උනන්දු කරන විට රටේ අවශ්‍යතාවයෙන් මෙරට නිපදවනු ලැබුවේ 20% ක පමණ සොච්චම් කහ ප‍්‍රමාණයකි. වපසරිය අනුව බැලූවහොත් හෙක්ටයාර් 1000 ක් පමණය. ඉතිරි 80% ක්ම පාහේ අප පාරිභෝජනය කෙරුවේ ඉන්දියානු ගොවියන් වගාකළ කහ ය. කහ වල කර්කියුමින් ප‍්‍රතිශතය 3% – 7% අතර විචල්‍ය වේ. අම්පාර, දෙහිඅත්තකණ්ඩිය වැනි වියළි ප‍්‍රදේශයන්හි වැවෙන දේශීය කහ වල ප‍්‍රතිශතය මෙහි ඉහළ සීමාව හා කිට්ටුව පිහිටයි. එනම් අප සතුව තිබෙන්නේ හොඳම තත්ත්වයේ කහය. මේ ප‍්‍රතිශතය 3% කට වඩා අඩු වියළි කහ ලංකාවට ගෙන්වීමටද නීතියෙන් අවසර නැති නමුත් කර්කියුමින් අන්තර්ගතය නිරන්තරයෙන් මැන බලනා තැනක් ගැනද අසන්නට නැත.

කහ වවන්නට ඇති උනන්දුව මේ තරමටම අඩුවී තිබුණේ ලාභයට ගතහැකි ආනයනික කහ හේතුවෙන් මෙරට ගොවියාට අමුකහ සඳහා ලැබෙන මුදල ඉතා පහළ අගයක පැවතීමයි. කිලෝග‍්‍රෑමයක් සඳහා එය රුපියල් 40 – 50 ක් අතර විය. රජය මගින් සිදුකරනු ලැබුවේ ආනයනයට තහංචි දමා වෙළඳපොළ අගය වැඩිවෙන්නට ඉඩහැර, වගාව වෙතට කහ ගොවියාව යළි කැන්දා ගැනීමයි. අමුකහ කිලෝව රුපියල් 900 කටත් වැඩි මිලකට අලෙවිවෙත්දී රජයේ අරමුණ ඉටුවෙන බව පෙනෙන්නට තිබුණි. ගොවීහු වහ වහා කහ වගාවට යොමුවන්නට වූහ. මෙරට වැඩිපුරම කහ වගා කරනුයේ අපේ‍්‍රල් මසදී ආරම්භ වන යල කන්නය තුළයි. මහ කන්නයේදී කෙරෙන්නේ 15%-20% ක් අතර ප‍්‍රමාණයකි.

ලබන වසර මුලදී කහවලින් රට ස්වයංපෝෂිතයි... කර්කියුමින් ප‍්‍රතිශතය අනුව අපිට තිබෙන්නේ හොඳම කහ

”අපිට අවශ්‍ය වුණා එකපාරටම 2020 යල කන්නයේදී ගොවියාගේ උනන්දුවත් සමගම විශාල වශයෙන් වගා පිහිටුවලා නිෂ්පාදනය පටන්ගන්න. ඒත් කෝ බීජ කහ. පැළකරන්න ගන්නෙත් ‘බීජ’ කියලා හඳුන්වන ග‍්‍රෑම් 30 ක පමණ කහ කැබැල්ලක්නේ. ඒ වනවිට රටේ තිබුණ අවම දේශීය නිෂ්පාදනය හමුවේ වගාව ප‍්‍රසාරණය කරන්නට ප‍්‍රමාණවත් තරමට ‘බීජ කහ’ රට තුළ තිබුණේ නෑ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා වගාකරන ප‍්‍රමාණයෙන් කොටසක් කෑමට ගන්නේ නැතිව, ඊළඟ වතාවේ බීජ ලෙස භාවිත කරන්නට ආරක්ෂා කරගන්න. ඒ නිසා 2020 අපේ‍්‍රල් වවපු ටිකෙන් 2021 ජනවාරි වෙත්දී ලැබුණ අස්වැන්නවත් පාරිභෝජන කහ වශයෙන් වෙළඳපොළට එවන්නට බැරිවුණා. දේශීය කහ වලින් වර්ණවත් වූ වෑංජනයක සිහිනය තවත් ටිකක් ඈතට ගියා. කහ හිඟය දිගටම තිබුණේ ඒකයි.”

ලබන වසර මුලදී කහවලින් රට ස්වයංපෝෂිතයි... කර්කියුමින් ප‍්‍රතිශතය අනුව අපිට තිබෙන්නේ හොඳම කහ
කෘෂි විද්‍යාඥ ප‍්‍රසාද් ඉඩමේකෝරාල

අපේම කහ පමාවන්නට හේතුව එසේ විස්තර කෙරුවේ කෘෂි විද්‍යාඥ ප‍්‍රසාද් ඉඩමේකෝරාල මහතායි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන හෙතෙම කහ බෝගය පිළිබඳව අධ්‍යයනයන්හි මූලිකත්වය ගන්නා නිලධාරියා වේ. නිලධාරීන් එකතුව ලහි ලහියේ සැලැස්මක් සාදා ඇත්තේ 2021 වසර තුළ දිවයිනේ හැකි සෑම ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි හෙක්ටයාර් 3000 ක් පුරා කහ වගා කරන්නටය. අද වනවිට සමස්ත කහ ගොවීහු එම ඉලක්කයෙන් හෙක්ටයාර් 2800 ක ප‍්‍රමාණයක් පසුකර ඉදිරියට ගොස් තිබේ. මීට අමතරව භූමියේ කහ සිටුවනවා වෙනුවට කහ පැළ මිලියන 6 ක් බඳුන් තුළ වගාකිරීම සඳහා රට තුළ බෙදා හැර ඇත. ඒ වවන්නට ඉඩමක් නැති මහල් නිවාස යනාදිය පවා ආවරණය වෙන පරිදිය. පොලිසැක් මලූ තුළ ඉතා පහසුවෙන් ගෙදරක සඳළුතලයේ තබා හෝ කහ වවන ආකාරය මෙම නිලධාරීන් විසින් කල්තබා ප‍්‍රසිද්ධකර තිබුණි.

මේ අනුව පෙනෙන්නේ දේශීය කහ වගාවේ උන්නතිය උදෙසා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විධිමත් සැලැස්මක් තිබී ඇති බවයි. සුළු පරහකට ඇත්තේ අල කැබැල්ලක් සිටුවා මේරූ කහ පඳුරක් උදුරා ගන්නට වසරකට ආසන්න කාලයක් ගතවීමය. එසේ නොවූවා නම් ස්වයංපෝෂිත සිහිනය මීට වඩා වේලාසනින් කලඑළි බසින්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට අප දිනුම් කනුව අසලට පැමිණ තිබෙනා බව බලධාරීන්ගේ මතයයි.

”මේ වසරේ යල කන්නයේ සිට සිටවූ කහ දෙසැම්බරයේ පමණ සිට ගැලවේවි. හෙක්ටයාර් 2800 ක්, බඳුන් කහ පඳුරු මිලියන 6 ක් එතන තියෙනවා. ලොකු අස්වැන්නක්. අනිවාර්යයෙන්ම මෙරට පාරිභෝජනයට ඒ ටික ප‍්‍රමාණවත්. ඒ නිසා දෙසැම්බරයෙන් පස්සේ කහ මිල අඩුවෙනවා.”

ප‍්‍රසාද් මහතා පවසයි. මීට අමතරව හෙතෙම යම්කිසි අකටයුත්තක් ගැනද සඳහන් කර සිටී. දැනට වගාකර ඇති කහ වපසරිය හමුවේ ඉදිරියේදී ඇතිවන මිල පහළයෑම ඉවෙන් මෙන් හඳුනාගන්නා වගාකරුවන් මේ වනවිට තිබෙන මේරීම සම්පූර්ණ නොවූ කහ පඳුරු ගලවා කඩිමුඩියේ විකුණා දැමීමට උනන්දුවීමේ තත්ත්වයයි එය. ඒ අනුව දිවයිනේ විවිධ පළාත්වල මේ වනවිට අමුකහ තොග අලෙවිය සඳහා මහපාර අයිනට පවා පැමිණ තිබේ. කිලෝග‍්‍රෑමය රුපියල් 700 සිට මුදලට ඒවා අලෙවි වන්නේය. මේ හදිස්සිය සාධාරණදැයි අප ප‍්‍රසාද් මහතාගෙන් විමසුවෙමු.

”මෙතන පාඩු දෙකක් සිදුවෙනවා. නියම පරිනත භාවය ලබන්නට පෙර අඩු වයසෙන් ගලවන කහ භාවිතයෙන් වියළි කහ කිලෝවක් සාදන්නට අමුකහ කිලෝ 10 ක් වත් වුවමනා වෙනවා. හොඳින් මේරූ කහ නම් වුවමනා වන්නේ කිලෝග‍්‍රෑම් 6 ක් පමණ. අනෙක් හානිය තමයි පරිනත වෙන්න කලින් ගලවන කහ, ලබන කන්නයේදී බීජ අල ලෙස භාවිතා කරන්නටත් බැහැ.”

දේශීය ආහාරයකින් ස්වයංපෝෂිතව ලක්මව සරසන්නට විද්වත් සහයෝගය නිසි කලට කාර්යක්ෂමව ලැබී තිබෙනා බව නොරහසකි. එහෙත් ලැබූ දෑ රැකගන්නට සහ තිරසාර ලෙස පවත්වා ගන්නට තවත් පාර්ශ්ව ගණනාවක දායකත්වයත් මෙම උත්සාහය හා අත්වැල් බැඳගත යුතුය. 2022 දී අපට පෙනෙන්නට නියමිත කහ පාට සිහිනය තිරසාරව පවතිනවාද, පෙනී හනිකට බොඳවී යනවාද යන්නෙහි තීරකයා වන්නේ ගොවියා, පාරිභෝගිකයා සහ ප‍්‍රතිපත්ති සම්පාදක බලධාරියා යන තුන් ගොල්ලන්මය. මන්දයත් ගොවියා දිගටම කහ පාත්තියේ රඳවා ගත හැකිවන්නේ ප‍්‍රතිපත්ති සම්පාදනය හරහා සාධාරණ මිලකට රට තුළ කහකුඩු විකිණෙන්නේ නම් පමණක් නිසාය.

සනත් එම්. බණ්ඩාර
[email protected]

ලබන වසර මුලදී කහවලින් රට ස්වයංපෝෂිතයි... කර්කියුමින් ප‍්‍රතිශතය අනුව අපිට තිබෙන්නේ හොඳම කහ
advertistmentadvertistment
advertistmentadvertistment