ලබන සතියේ රට පුරා රෝහල්වල වෘත්තීය ක්‍රියා

147

ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල ලබන සතියේදී වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට සහ විරෝධතා ව්‍යාපාරයන්ට පිවිසීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

කොළඹ ඊයේ (04 දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව සඳහන් කර සිටියේය.

ඖෂධ, ශල්‍ය උපකරණ ද්‍රව්‍ය හිඟය මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වාහන ගැටලු විසඳා ගැනීම ඇතුළු ඉල්ලීම් කිසිවකට මේ වනතුරුත් විසඳුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජය අපොහොසත් වීම නිසා රෝගී සත්කාර සේවාවන් බිඳ වැටීමට ලක්ව ඇතැයි ද එම සංගම් නියෝජිතයෝ මාධ්‍ය හමුවේදී පැවසූහ.

මෙහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

“දිවා රාත්‍රී සේවය සපයන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව මධ්‍යයේ ප්‍රවාහන පහසුකම් නොමැතිව අසරණභාවයට පත්ව සිටිනවා. ඒ වගේම ඖෂධ, ශල්‍ය උපකරණ ද්‍රව්‍ය, රෝගීන්ට නිර්දේශිත ආහාර වේල ලබා නොදීම ඇතුළු ගැටලුත්, සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා කප්පාදු සහ බැංකු ණය පොලී අනුපාත වැඩි කිරීම නිසාත් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා.

මේ සියල්ලට සාධනීය පිළිතුරු ලබා දීමට රජයට හැකියාව තිබියදීත් එය නොසලකා කටයුතු කිරීම නිසා මේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ලබන සතියේදී රට පුරා රෝහල්වල වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට අප තීරණය කළා. මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුවට හැකියාවක් නැත්නම් ආණ්ඩුවට ගෙදර යන්න කියලා අපි බල කර සිටිනවා. ඊට අමතරව ආණ්ඩුව මේ වනවිට සිදු කරන අත්තනෝමතික සහ අනීතික මර්දනයන් ද නවතාලිය යුතුයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment