ලබන 10 වැනිදාට පෙර කුඹුරු වපුරන්න: ඇමැති අමරවීර ගොවීන්ගෙන් ඉල්ලයි

116

ආහාර අර්බුදයකට ලොව රටවල් රැසක් මුහුණපාමින් සිටින මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එම අභියෝගය දැඩිව එල්ල වී තිබෙන බැවින් ලබන 10 වැනිදාට පෙර මෙවර යල කන්නය සඳහා කුඹුරට ගොස් වී වපුරා අවසන් කරන ලෙස තමන් සමස්ත ගොවි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

එසේ සිදු කර තමන් වෙනුවෙන් ආහාර සපයා ගන්නවා මෙන්ම රටට ආහාර සැපයීමේ වැඩපිළිවෙළට ද දායක වන ලෙස තමන් ඉල්ලා සිටින බව ඒ මහතා සඳහන් කළේය.

රුසියා – යුක්රේන යුද්ධය නිසා පොහොර, කෘමිනාශක හා වල්නාශක ලබා ගැනීමට නොහැකි වීමෙන් මෙන්ම කාලගුණික විපර්යාස හමුවේ ලෝක ආහාර අර්බුදයක් මතුවෙද්දී ශ්‍රී ලංකාවට එය දැඩිව දැනෙන කරුණක්ව තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඉකුත් කන්න කිහිපය සාර්ථක කර ගැනීමට නොහැකි වීම නිසා රටට ඇති අභියෝගය තවත් උග්‍ර වී තිබෙන බව රහසක් නොවන බවද මහින්ද අමරවීර ඇමැතිවරයා කියා සිටියේය. වගාවන් සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කළ අයගෙන් මිලදී ගෙන ගොවීන්ට ලබාදීමට රජය පියවර ගන්නා බව කී ඇමැතිවරයා, මේ වනවිට වැඩි ඉල්ලුමක් ඇති රසායනික පොහොර ලබා ගැනීම සඳහා ජනපති සහ අගමැති විදෙස් රටවල් සමඟ සාකච්ඡා කර ඇති බවද පැවසීය.

ගෝලීය තත්ත්වය තුළ අපට පොහොර ලබා දුන් රටවල් රැසක් පොහොර අපනයනය තහනම් කර ඇති බවද පෙන්වා දුන් ඒ මහතා, මෙරටට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස මේ වන විට රටවල් හතකින් රජය විශේෂ ඉල්ලීම් කර තිබෙන බවද පැවසීය.

එම තත්ත්වය තුළ පොහොර ලැබෙන තුරු කුඹුරට නොයන තැන නොසිට පොහොර ලැබෙයි කියන විශ්වාසයෙන් යුතුව කටයුතු කරන ලෙස තමන් ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

වගා කරන ගොවි ජනතාවට සහන ලබාදීමට දැනටමත් ඇමැති මණ්ඩලය සාකච්ඡා පවත්වා තිබෙන බව පැවසූ ඇමැතිවරයා එහිදී වැඩි මිලට පොහොර ගෙන වගා කරන ගොවීන්ට සෙසු අයට ලබා දෙන සහන මූල්‍යමය වශයෙන් හෝ ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද කියා සිටියේය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (31 වැනිදා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment