ලයන්ගේ දග පන්දුවට සිංහයෝ පසුබසිති – ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා  පළමු ටෙස්ට් තරගය

324

නේතන් ලයන් සහ මිචෙල් ස්වෙප්සන්ගේ දඟ පන්දුව හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ්‍රලියාව සමගින් ඊයේ (29 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී මුළු ලකුණු 212කට පළමු ඉනිමේ සියලු දෙනා දැවී ගියේය. ඒ අනුව පළමු දිනට ඊයේ තරගය නතර කරන විටදී සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 98 ක් ලබා සිටියේය.

ගාලු තණතීරුවේ ස්වභාවය තේරුම් ගත් ඔස්ටේ්‍රලියානු පිතිකරුවෝ ඊයේ සවස් වරුවේ ඉක්මනින් ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම හඹා යෑමට උත්සාහ දැරීය. ඒ අනුව පන්දුවාරයකට දළ ලකුණු ලබා ගැනීමේ වේගය පන්දුවාරයකට 4 කට ආසන්න ලෙස රඳවා ගැනීමට ඔවුන් සමත්වී සිටියේය. කෙසේ වෙතත් ඒ අතරවාරයේ කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වී සිටියහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය ගාල්ල තණතීරුවේදී පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ඊයේ උදැසන ඉනිම ආරම්භ කළ නායක දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංකගේ සම්බන්ධතාව ලකුණු 38කට සීමා කර දැමීමට පැට් කමින්ස් සමත්විය.

ලකුණු 23ක් ලබා සිටි පැතුම් නිස්සංකගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින ඇලෙක්ස් කේරීගේ සුරතේ සිරවීමත් සමගින් ශ්‍රී ලංකා පළමු කඩුල්ල අහිමි වී ගියේය.

උදැසන වරුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ ඔස්ටේ්‍රලියානු දඟ පන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටියදී වේග පන්දුවෙන් ක්‍රියාත්මක වූ මිචෙල් ස්ටාර්ක් මුළු ලකුණු 42දී ශ්‍රී ලංකාවට දෙවැනි කඩුල්ල අහිමිකර දැමීය. ඒ ලකුණු 3ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් නැවත ක්‍රීඩාගාරයට හරවා යවමිනි.

දිවා භෝජනයෙන් පසු ක්‍රියාත්මක වූ ඔස්ටේ්‍රලියානු දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ තේ පානය වනවිටදී තවත් කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූහ. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් නායක දිමුත් කරුණාරත්න ලකුණු 28ක් ලබා සිටියදී නේතන් ලයන් විසින් නැවත ක්‍රීඩාගාරයට හරවා යැව්වේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ දිනයේ සිය පළමු කඩුල්ල දවා ගැනීමට සමත් වෙමිනි.

එතැන් පටන් ඔස්ටේ්‍රලියානු දඟ පන්දුව හමුවේ සෙමින් සෙමින් ඉනිම ගොඩනගමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා සුසංයෝගයට තිත තැබීමට මිචෙල් ස්වෙප්සන් සමත් වූවේ ධනංජය ද සිල්වා ලකුණු 14කට පිටියෙන් ඉවත් කරමිනි. එම පන්දුවාරයේ ඊළඟ පන්දුවට දිනේෂ් චන්දිමාල් ආ විගසම නැවත ක්‍රීඩාගාරයට යැවූ ස්වෙප්සන් තරගයේ පළමු දිනයේ වැඩි වාසි ඔස්ටේ්‍රලියා කණ්ඩායම දෙසට පහසුවෙන්ම හරවා දුන්නේය.

පිටියේ ස්ථාවර වෙමින් විශ්වාසයෙන් යුතුව සිය ඉනිම දියත් කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම ශ්‍රී ලංකා තේ පානයට පෙර නිමාකර දැමීමට නේතන් ලයන් සමත්වූයේ සිය කඩුලු මල්ලට ඊයේ දිනයේ දවා ගත් දෙවැනි කඩුල්ලද එක් කරමිනි. ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 3ක් සමගින් ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

ඊයේ සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නන් හමුවේ ඉක්මනින් ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු දෙසීයේ සීමාවට රැගෙන යෑමට සමත්විය. දික්වැල්ලට අනගි සහයක් දැක්වූ රමේෂ් මෙන්ඩිස් අනෙක් අන්තයේ රැඳී සිටිමින් ලකුණු 22ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය. දික්වැල්ල සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ලට වේගවත් 54ක ලකුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත්විය.

ශ්‍රී ලංකා ඉනිමේ පිළිවෙළින් ලකුණු 193දී සහ 198දී රමේෂ් මෙන්ඩිස්ගේ සහ නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු සිය ගොදුරු බවට පත්කර ගැනීමට නේතන් ලයන් සමත්විය. අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් ලසිත් ඇඹුල්දෙණිය දවා ගත් නේතන් ලයන් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 21 වැනි වතාවටත් කඩුලු 5ක් දවා ගත් අවස්ථාවක් සනිටුහන් කළේය.

ලයන්ගේ දග පන්දුවට සිංහයෝ පසුබසිති - ශ්‍රී ලංකා - ඔස්ටේ්‍රලියා  පළමු ටෙස්ට් තරගය


කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment