ලයන්ස්ට එරෙහි ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරයි

197

සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ද ඊයේ (10 වැනිදා ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 284 ක ඉලක්කයක් හඹා ගිය සංචාරක කණ්ඩායම තරගය නිමාවට පත්වනවිට කඩුලු 7ක් දැවී ලකුණු 173 ක් ලබා සිටියේය.

ඒ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 111ක් පිටුපසින් රැඳී සිටියේය.

කණ්ඩායම් දෙක අතර පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ද ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ය.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලක්ශිත මානසිංහ එංගලන්ත නායකයාගේ කඩුල්ල සහ ටොම් හේන්ස්ගේ කඩුල්ල ද දවාගනිමින් තරගය ජයග්‍රහණය කරා ගෙන යෑමට ප්‍රබල උත්සාහයක නිරත වූයේය. අනතුරුව මානසිංහ විසින් ජෙමී ස්මිත්, ටොම් ඇබල් සහ මැතිව් ෆිශර්ගේ කඩුලු ද දවා ගත්තේය. එහෙත් මානසිංහගේ උත්සාහයට ජොස් බෝනමන් ඊට හරස් වූයේය.

තරගය නිමා වන විට එක් අන්තයක රැඳී සිටි ඔහු පන්දු 50කදී නොදැවී ලකුණු 34ක් ලබා සිටියේය.

පළමු තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක මෙම තරගයේදී ද ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේය.

පෙරේදා දිනයේ දී නොදැවී ලකුණු 84 ක් ලබා සිටි නිශාන් ඊයේ සිය ශතකය සම්පූර්ණ කර පසුව දැවී ගිය අතර ඔහු පන්දු 125කදී හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සමත් වී තිබුණි.

ශ්‍රී ලංකා දෙවෙනි ඉනිම ගොඩනැගීමට මැද පෙළින් සහ පසු පෙළෙන් දායකත්වය දුන් ලහිරු උදාර සහ ලක්ශිත මානසිංහ දෙදෙනා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 350 සීමාව ඉක්මවා යෑමට ක්‍රියා කළහ.

ලහිරු උදාර ලකුණු 63ක් ලබා ගත් අතර ලක්ශිත මානසිංහ ලකුණු 43ක් ලබාගත්තේ ය.

ශ්‍රී ලංකාවට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජොස් ටන්ග් කඩුලු 4ක් දවා ගත් අතර ජැක් කාර්සන් කඩුලු 3ක් දවා ගත්තේය.

මෙම තරගය සඳහා කැඳවා තිබූ චාමික කරුණාරත්න දෙවෙනි ඉනිමේ දී ද ලකුණු බින්දුවකට දැවී ගිය අතර ඔහුගේ පළමු ඉනිම ද ලකුණු ලබා ගැනීමට පෙර නිමා වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment