ලයිට් ඇමැති ගේ ටියුබ් ලයිට් සහ මහා නා හිමිවරුන්ගෙන් රතු ලයිට්

151

ලයිට් දාන්න ගිහින් දැන් සර්වාංගයටම කරන්ට් වැදිලා ඉවරයි. ලයිට් ඇමැතිලට ඒව ගාණක් නෑ. හැටේ දශකය වන විට අපි පාඩම් කළේ ලාම්පු එළියෙන් ගෙදරට වයර් ඇදලා ලයිට් ආවම කවුරුත් සතුටු වුණා. මහවැලි ව්‍යාපාරය යටතේ නව විදුලි බලාගාර හැදිලා රට පුරාම විදුලි රැහැන් ඇදිලා එන කොට අපි තවත් සතුටු වුණා. අපේ දරුවන් ලාම්පු කුප්පියෙන් පාඩම් කරලා නිදහස් අධ්‍යාපනයෙන් නොමිල්ම ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහින් විදුලි ඉංජිනේරුවන් වෙලා රටෙම් විදුලි බල අවශ්‍යතාව සපුරාවි කියල අපට තිබුණේ ලොකු බලාපොරොත්තුවක්. රටේ බල ශක්ති ක්ෂේත්‍රය ජනසතු කරලා ඉන් ලැබෙන ලාභයෙන් තෙල් පිරිපහදුවකුත් හැදුවේ හැටේ දශකයේ දි. අපි ස්වාධීන රාජ්‍යයක් විදියට ආඩම්බරයෙන් හිස ඔසවා ගෙන එන විට ඒකට බටහිර රටවල් ඉරිසියා කළා නොයෙකුත් ඔත්තු කරුවන් රටට එවලා නොයෙතුක් සැලසුම් හදලා නායකයන් ඇන්දුවේ කොහොමද කියලා අපි දැන් දන්නවා. හැබැයි ඔවුන් ඇන්දිලා ඔටුණු දාගත්ත වගේම අතයට කොමිස් ගහලා ධනවතුන් වුණා. ජනතාව දුප්පතුන් බවට පත් වෙන්නට පටන් ගත්තා. අර නිදහස් අධ්‍යාපනයෙන් ඉහළ ගිය විදුලි ඉංජිනේරු මහත්වරු සමග මේ නායකයන් එකතු වෙලා ගහපු ගැහිලි සහ ගැට දැන් තමයි අපිට තේරෙන්නේ. ඇඟ පුරාම කරන්ට් වදින කොට මේ යථාර්ථය පැහැදිලි වන්නට පටන් ගන්නවා.

ලයිට් ඇමැති ගේ ටියුබ් ලයිට් සහ මහා නා හිමිවරුන්ගෙන් රතු ලයිට්

ලංකාවෙ ජල විදුලි බලාගාර මත යැපෙන ප්‍රතිශතය ඉක්මවා ඩීසල් බලාගාර මත යැපෙන්නට පටන් ගැනීම ඛේදවාචකයක්. අඩු මිලට ජල විදුලිය නිපදවෙව්වත් අවුරුද්දට දෙපාරක් විතර ජලාශ පිරිල ඉතිරිල ගියත් මාසයක් යන විට ජල විදුලිය මගින් විදුලිය නිපදවීමට බැරි වෙනවා. මේකට ගොඩක් හේතු තිබුණත් වැදගත්ම හේතුවක් හොයා ගත්තෙ මෑතකදී. ජලාශ ජලයෙන් පිරුනම නඩත්තුවට කියල ජලය ඇරලා දානවා. මේක පුරුද්දක් විදියට කරනවා. පසුගිය දවස් වල ඉංජිනේරුවන් කීපදෙනෙක් මේ වැරැද්ද කරලා අහුවුණා. ඔවුන්ට කරපු දඬුවමක් ගැනනම් අහන්නට ලැබුණේ නැහැ. ඉදිරි අවුරද්ද තුළ තාප බලාගාර වලින් කොච්චර විදුලිය මිලදී ගන්නවද කියලා මේ විදුලි ඉංජිනේරුවො කලින් ගණනය කරනවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය විදියට යාන්ත්‍රණය සකස් කර ගන්නවා. ඉතින් අසීමිත ලෙසට විදුලි බල මණ්ඩලය පාඩු විඳින්නට ගන්නවා. මේ සෙල්ලම පටන් අරන් තියෙන්නේ අනූව දශකයේ මුල් කාලයේ වගේ. අපි ලොකු බලාපොරොත්තු තියල නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ඔසවා තැබූ දරුවන් අද ලොකු පුටුවල ඉන්නවා. තමන් සැප විඳින ගමන් විදුලි බිල ජනතාව මත පටවා ඒ අය විශ්‍රාම ගිය පසු පිටරට යනවා. වත්මන් ලයිට් ඇමැති මේ බැව් දන්නවා. හිටපු ගමන් විදුලි ඉංජිනේරුවන්ට බැණලා ටියුබ් ලයිට් වගේ අදහස් කියන්නේ ඒකයි. මේ අක්‍රමිකතාවන් මැඬලන්න නිශ්චිත වැඩපිළිවෙළක් නෑ.

විදුලි බිල ජනතාව මත පටවා අලාභය නැති කරන්නට හදන මණ්ඩලය තමන්ගේ ණය පියවන්නට විකල්පවලට යෑමට උක්සාහ දරන්නේ නෑ. ජලාශ වල පිරෙන ජලය දවල් කාලයට ඉහළට අරන් රාත්‍රී කාලයට මුදා හරින වැඩ පිළිවෙළකට යන්න පිළිවන්. රට පුරාම තියෙන වීදි ලාම්පු සහ නාගරික වෙළෙඳ දැන්වීම්වල එළිය නිවා දමා තවත් විදියකට විදුලිය ඉතිරි කරගන්නට පිළිවන්. සූර්ය පැනල සවි කිරීමත් ලොකු දෙයක් කියලා හිතනවා ඇති. ඒක ලේසි දෙයක් නෙවෙයි. අවම වශයෙන් සූර්ය පැනල සවි කරලා නිවසකට ලයිට් දෙන්න ලක්ෂ දහයක් වත් යනවා. ඒ සියලු දේ රටින් ගෙන්වන්නට වෙනවා. ලංකාවේ එකලස් කිරීම වාසිදායක වුණත් බැටරි වගේ දේවල් ලංකාවේ හැදීමට පුළුවන් වුණත් සූර්ය කෝෂ වලින් ලංකාවෙ විදුලි බල ප්‍රශ්නය එක පාරට විසඳන්නට බැහැ. තවත් විකල්ප රාශියකට යන්න වෙනවා. ඇමැති ගේ ටියුබ් ලයිට් කතා නිසා නිශ්චිත දිහාවකට ජනතාව තල්ලු වන්නේ නැහැ.

ලයිට් ඇමැති ගේ ටියුබ් ලයිට් සහ මහා නා හිමිවරුන්ගෙන් රතු ලයිට්

ඒ වගේම ඔහු වැරදි මත රාශියක් ප්‍රචාරය කරනවා. මේ රටේ සම්ප්‍රදායට පහර දීමට ඔහු ගන්නා උත්සාහ තුළින් මතක් වන්නේ හිටපු ඇමැති මංගල සමරවීර. ඒ පුද්ගලයා සමරිසි පිළිවෙත් අගය කරමින් බෝගස් පවා කපන්නට උනන්දු වුණා. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටියා. වත්මන් ලයිට් ඇමැති දැන් පන්සල් වල විදුලි බිල අහස උසට නංවලා පණ්ඩිත කතා කියමින් ජනතාවත් කෝප ගන්වනවා.

ලංකාවෙ විහාරස්ථාන තිස්දාහක් විතර තිබෙනවා. විදුලිය ලැබෙන්නට කලින් මේ ස්ථාන එළිය කළේ තෙල් පහන් වලින්. උත්සව අවස්ථාවලදී කොප්පරා පහන් වලින්. පෙර රජවරු විහාරස්ථාන ආලෝකවත් කරන්නට රාජකාරි ක්‍රමයක් ස්ථාපිත කළා. පන්සලේ උත්සව අවස්ථාවලදී කොප්පරා පහන් පත්තු කිරීමට හෝ තෙල් පහන් පත්තු කිරීමට වෙන් වූ පිරිසක් හිටියා. මේ රාජකාරිය සඳහා ගම් බිම් පවරලා අසලින් පදිංචි කළා. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම පෙර රජ දරුවන් ගේ සිරිතක්. දළදා මාළිගාව, ශ්‍රී මහා බෝධිය, කතරගම කිරි වෙහෙර මෙවැනි වැදගත් සිද්ධස්ථාන ආලෝකවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් තිබුණා. මේ පෙර සිරිත කඩ කළා නම් යම් කෙනෙක් නිරයට යනවා කියන බය ඇති කරලයි තිබුණේ. අස්ගිරි ගෙඩිගේ මහා විහාරයට තෙල් පහන් ලබා දීමට තිබුණු තෙල් පංගුව සතු ඉඩකඩම් වල තමයි අද මහනුවර මීනක්කම් මුස්ලිම් පල්ලිය හදල තියෙන්නේ. ඔවුන් අස්ගිරි ගෙඩිගේ විහාරයට අද ලබා දෙන තෙල් ප්‍රමාණයක් නෑ. මේ සිරිත් ඉංග්‍රීසීන් විසින් කඩ කරන්නට පටන් ගත්තා. අනතුරුව 1948 න් පස්සේ මේ රට භාර ගත් කළු සුද්දන් ටික කිසිම වග විභාගයක් නැතිව සසුනට තලන්නට පටන් ගත්තා. වත්මන් ලයිට් ඇමැතිට මහා නායක හිමියන් රතු එලියක් දල්වා ඇත්තේ මේ ටික කියන්නයි. හැබැයි අපේ නායක හාමුදුරුවරු මේ ගැන තේරුම් බේරුම් ඇතිව කියන්නේ නෑ. දේශපාලනඥයන් ආවම පිරිත් නූල් ගැට ගහන වේලාවට මේවා කියන්නට අවශ්‍යයි. රටේ මුර දේවතාවුන් කියන්නේ නිකමට නොවෙයි. ඒ වගේම පන්සල් වලින් රටට ආදර්ශයක් දෙන තරමට හොඳයි. පන්සල් ගොඩනැගිලි සැලසුම් කිරීමේදී ස්වභාවික වාතාශ්‍රය එන පරිදි ආලෝකය ලැබෙන පිළිවෙලට සැලසුම් කළහොත් වායු සමීකරණ දාන්න අවශ්‍ය වන්නේ නෑ. වායු සමීකරණ නඩත්තු කරන්න සූර්ය පැනල වලින් නොහැකියි. ලයිට් ඇමැති ගේ සිහිනය සූර්ය පැනල සවි කිරීම වුවත් අන්තිමට ඒ කොන්ත්‍රාත්තුව යන්නෙ අදානි සමාගමටයි. අපි එක වර සල්ලි බැඳල මේ කොම්පැණි වල වහලුන් බවට පත් වනවා. ඒ නිසා බලශක්ති ස්වාධිපත්‍ය නැති වෙනවා. ඒ ගැන තරයේ හිතේ තබා ගෙන විදුලිය කළ කළමනාකරණය කිරීම අපේ වගකීමක්. ටියුබ් ලයිට් පත්තු කරන ඇමැතිලා එක්ක මේ වැඩේ කරන එක ලෙහෙසි පහසු නෑ.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment