ලයිට් කපන්න වෙනවාමයි – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

225

ගල්අඟුරු නෞකා 38 ක් මෙරටට ගෙනායුතුව තිබෙන බවත් ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි ගැටලුව නිසා ලයිට් කපනවා හැර ඊට වෙනත් විකල්පයක් නොමැති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඒ අනුව ජනවාරි සිට දෛනික විදුලි කප්පාදුව පැය කිහිපයකින් වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නැතැයිද ඒ මහතා කීය.

දැනට ඇණවුම් කර තිබෙන මෙටි්‍රක් ටොන් හැටදහසක් අඩංගු ගල්අඟුරු නෞකාව ලබන 05 වැනිදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණත් එම ගල්අඟුරු ගොඩබෑමට තවත් දින පහක් හෝ හයක කාලයක් ගතවන බවද ඒ මහතා කීය. ගල් අඟුරු බලාගාරය සතුව තිබෙන ගල්අඟුරු සංචිත ලබන 31 වැනිදා අවසන්වීමට නියමිතය.

මෙහි තිබෙන බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය නැව් වාර 38 න් දැනට මෙරටට පැමිණ ඇත්තේ නැව් පහක් පමණක්වීමය. ලබන වසරේ පැමිණීමට නියමිත නෞකාවෙන් පසු අනෙක් නෞකා සඳහා ණයවර ලිපි නිකුත් කර ගැනීමේ ගැටලුවත් ඊට ජාත්‍යන්තර බැංකු කිසිදු සහායක් පළ නොකිරීමත් නිසා ජනවාරි මාසයේදී පැය 8 ක් 10 ක් පමණ කාලයක් දෛනිකව විදුලි කප්පාදුවකට යාමේ බරපතළ අවදානමක් මතුව ඇතැයිද ජනක රත්නායක මහතා කීය.

දැනට බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නෞකා එක දිගට මෙරටට ගෙන ඒමට කටයුතු කළත් අදාළ නැව් වාර 38 න් අප්‍රේල් 15 වැනිදාට පෙර මෙරටට ගෙන ආ හැක්කේ නැව් වාර 20 ක් පමණකැයිද ඒ මහතා කීය.

“ලයිට් කපනවා හැර වෙනත් විකල්පයක් නොමැති” බවත් මීට වගකිවයුත්තේ දේශපාලන අධිකාරිය බවත් ඒ මහතා සඳහන් කළේය. ගල් අඟුරු මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට කිසිදු වගකීමක් නොමැති බවද ඒ මහතා පැවැසීය.

මේ අතර ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා ‘දිවයින’ ට කියා සිටියේ ජනවාරි 01 වැනිදා සිට පැය හතර, පහක් දක්වා දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බවයි.

මෙගාවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට එක්කළ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් නතර කළ දින 10 කට පසු එය යළි පණගැන්වීමට පමණක් රුපියල් කෝටි 4 ක (මිලියන 40) පමණ වැය වන බවද ඒ මහතා කීය. ඒ අනුව යන්ත්‍ර තුනම අක්‍රීය වී යළි එය පණ ගැන්වීමට සිදුවුවහොත් රුපියල් කෝටි 12 ක් (මිලියන 120) වැයවන බවද වීරරත්න මහතා සඳහන් කළේය.

මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 ක් පමණ ලබාගන්නේ නොරොච්චෝල ලක්විජය බලාගාරයෙනි. විදුලි ඉංජිනේරු සංගමය දිගින් දිගටම මෙම තත්ත්වය පිළිබඳව කල්තියාම දැනුම් දුන් බවත් කළු ජූලිය දැන් කලින්ම රටට උදාවී ඇති බවත් වීරරත්න මහතා කීය.

කැලණිතිස්ස ද්විත්ව චක්‍රීය බලාගාරය මගින් මෙගාවොට් 165 ක් ලබාගත හැකි මුත් ඊට අවශ්‍ය නැප්තා නොමැති නිසා එයද පද්ධතියට එක්කරගත නොහැකිව තිබේ.
ශිරාන් රණසිංහ – සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment