ලයිට් දෙන්න ජලය දෙන අයට ඇමැති කෙනකුගෙන් බලපෑම් – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

427

අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ජලය මුදාහැරීමට කටයුතු කළ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයට ජලය තවදුරටත් නිකුත් නොකරන ලෙසට ඇමැතිවරයකු හා අමාත්‍යාංශ. බලධාරීන් බලපෑම් එල්ල කර ඇති බව දැනගන්නට ඇතැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

උසස් පෙළට පෙනී සිටින දරුවන්ට අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා ජලය මුදාහරින ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජල කළමනාකරණ ලේකම් කාර්යාලයෙන් කළ ඉල්ලීමට අනුව ජලය ලබාදීම නිසා ඊයේ සහ පෙරේදා (30 – 31) විදුලිය විසන්ධි කිරීමක් නොකළ බවත් ධම්මික මහතා කීය.

ඛනිජ තෙල් සංස්ථාව සතුව නැප්තා තබාගෙන විදුලිබල මණ්ඩලයට නොදෙන තත්ත්වයක් පවතින බවත්, එයට පිළියමක් ලෙස ජල කළමනාකරණ ලේකම් කාර්යාලය ජලය ලබාදී අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරමින් සිටින විට එම ලේකම් කාර්යාලයට බලපෑම් කරන්නේ විදුලිය විසන්ධි කර සිසුන් අපහසුතාවට පත් කිරීමට ද යන්න බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බවත් ධම්මික මහතා කියා සිටී.

මහජනතාවට පැය 24 පුරා විදුලිය ලබාදීමට මහජනතාවගෙන් තැන්පතු ලෙස විදුලිබල මණ්ඩලය ලබාගෙන තිබෙන කෝටි 4000 ක මුදලට අදාළ පොලිය මහජනතාවට ලබා නොදී බිල් නොගෙවීම නිසා (රතු බිල පැමිණ) විදුලිය කප්පාදු කිරීමට පැමිණියහොත් තම ගෙවත්තට ඇතුළු නොවන ලෙසට ඉල්ලමින් ඊට පෙර පොලිසියට පැමිණිල්ලක් කර තබන ලෙස ද ධම්මික මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment