ලයිට් බිල වැඩි නොකළොත් කළුවරේ ඉන්න පුරුදු වෙන්න වෙයි – ඇමැති කංචන කියයි

322

විදුලි බිල ඉහළ දැමීම සිදු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරු කර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.

එළැඹෙන 2023 වසරේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් සියයට 25 ක් පෞද්ගලික බලාගාර මගිල් ලබාගෙන කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලි බිල ඉහළ දැමීම අනිවාර්යයෙන් කළ යුතු බවද ඇමැතිවරයා ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

පෞද්ගලික අංශයේ ඩීසල් හා නැප්තා බලාගාරවලින් සියයට 12 ක් හා පුනර්ජනනීය බලාගාරවලින් සියයට 13 ක් ලෙස මෙසේ විදුලිය මිලදී ගැනීමට යෝජනා වී ඇත.

එසේ නොකළහොත් බදු ඉහළ දැමීම මුදල් මුද්‍රණය කිරීම හෝ විදුලිය කපා දමන කාලය වැඩි කිරීම හැර ගැටලුව විසඳා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

වත්මන් විදුලි බිල ඉහළ දැමීම සිදු කරන්නේ විදුලිබල මණ්ඩලයේ අතීත පාඩු පියවා ගැනීමට නොවන බව කී ඇමැතිවරයා 2023 වසරේ විදුලිය උත්පාදනය හා බෙදාහැරීම ඇතුළු සමස්ත පිරිවැයේ හිඟය පියවා ගැනීම සඳහා විදුලි බිල ඉහළ දැමීමට සිදුව ඇතැයිද පැවසීය.

ක්‍රමවේද විස්සක තොරතුරු මත පදනම්ව ඉදිරිපත්වූ යෝජනා අනුව 2023 වසරේ අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා අවශ්‍ය විදුලිය ධාරිතාව මුළුමනින්ම සපුරා ගැනීමේදී එක් ඒකකයක් සඳහා වැයවන මුදල රුපියල් 48.42ක් බවද හෙතෙම පැවසීය.

පසුගිය අගෝස්තු මාසයේ සිදු කෙරුණු මිල සංශෝධනයේදී එක් විදුලි ඒකකයක පිරිවැය මිල රුපියල් 29.14 ක් ලෙස ගණනය කෙරුණු අතර මේ අනුව 2023 වසරේ අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමේදී ඇතිවන මූල්‍ය හිඟය රුපියල් බිලියන 78 ක් පමණ වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ලබන වසරේ ලැබෙන වර්ෂාව පිළිබඳ කාලගුණ විiා දෙපාර්තමේන්තුව මේ දක්වා නිශ්චිත වාර්තාවන් ලබා දී නොමැති බැවින් නව මිල ගණනය කිරීම් සිදු කර ඇත්තේ සාමාන්‍ය වර්ෂාවක් ලැබෙනු ඇතැයි සැලකිල්ලට ගනිමින් බව කී ඇමැතිවරයා යම් ලෙසකින් ලබන ජනවාරි සිට ජුනි දක්වා හොඳ වර්ෂාපතනයක් ලැබුණහොත් ජුලි මස සිදු කිරීමට නියමිත මිල සංශෝධනයේදී විදුලි බිල පහළ දැමීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙතෙක් සිදු කළ විදුලිය කප්පාදුවේදී කෙසේ හෝ විදුලිය ලබා දෙන ලෙස ජනතාව සඳහන් කළ බවද විදුලි බිල ඉහළ දැමීමක් සිදු නොකරන්නේ නම් තවදුරටත් වැඩි පැය ගණනක් අඳුරේ සිටීමට අප සියලු දෙනා පුරුදු විය යුතු බවද ඇමැතිවරයා පැවසීය.

කොළඹදී ඊයේ (27 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළ ඇමැතිවරයා එහිදී ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

දින 180 ක සහන කාලයක් සමග නොරොච්චෝල බලාගාරයට ගල් අඟුරු ලබා ගැනීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයේදී ලබාදුන් ටෙන්ඩරය ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ නඩුවක් පැවරීම නිසා අහෝසි වී ගිය බව එහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ගල් අඟුරු සමාගම්වල ඉත්තන් වෙමින් කොටස් ලබා ගැනීම සඳහා එම ටෙන්ඩරය ලබා දුන් බවට සෝභිත හිමියන් චෝදනා කළ බව කී හෙතෙම එම නඩු පැවරීම අනුව ගල්අඟුරු සමාගම් සමග සිටින්නේ සෝභිත හිටපු මන්ත්‍රී හිමියන් බව තමන් විශ්වාස කරන්නේ යැයිද පැවසීය.

දේශපාලන වශයෙන් සියලු දේට හඬ නගන මන්ත්‍රී හාමුදුරුවන් කිසි දිනෙක බුද්ධ ශාසනය වෙනුවෙන් හඬක් මතුකරනු තමන් දැක නැති බවද කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment