ලයිසන්ගාස්තු ඩබල් වෙයි

606

ලිඛිත – ප්‍රායෝගික පරීක්‍ෂණ, අලුත් වාහන පන්ති එකතු කිරීම,
ලයිසන් අලුත් කිරීම, කාලය දික් කිරීමේ ගාස්තුත් නගී

නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම, පවතින රියැදුරු බලපත්‍රය අලුත් කිරීම ඇතුළු එම සියලුම ගාස්තු ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පවතින රියැදුරු බලපත්‍රය නව බලපත්‍රයක් බවට පත් කර ගැනීම, රුපියල් 2800 සිට 4000 ක් දක්වා වැඩි කර ඇති අතර එලෙස මෙම ගාස්තු ඉහළ නංවා ඇත්තේ වසර 13කට පසුවය.

නව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සඳහා සාමාන්‍ය සේවය සහ එක්දින සේවය සම්බන්ධයෙන් ගෙවිය යුතු නව ගාස්තු පිළිබඳව ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ගැසට් නිවේදනයට අනුව නව රියැදුරු බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ ගාස්තුව සාමාන්‍ය සේවා යටතේ එක් පන්තියක් සඳහා රුපියල් 2,500ක් වන අතර, එක්දින සේවා යටතේ එය රුපියල් 3,500ක් වේ.

රියැදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණ ගාස්තු, ප්‍රායෝගික පරීක්ෂණ ගාස්තු, රියැදුරු බලපත්‍රයට අලුත් වාහන පන්ති එකතු කිරීම, රියැදුරු බලපත්‍රය අලුත් කිරීම සහ වලංගු කාලය දීර්ඝ කිරීම සඳහා වන ගාස්තු ද ඒ සමගම සංශෝධනය කර ඇත.

ඊට අමතරව විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික රියැදුරු බලපත්‍රලාභීන් සඳහා වන මාර්ගගත සේවා සඳහා අයකිරීම අමෙරිකානු ඩොලර් මඟින් සිදුකළ යුතු අතර එම මුදල ඩොලර් 25ක් බවද මෙම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ගාස්තු ඉහළ නැංවීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනය පෙරේදා (10දා) රාත්‍රී නිකුත් කර ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment