ලයිසන් බලපත් නැතිව ත්‍රිරෝද රථයක බීමතින් ගොස් පොලිසියටත් පාට් දැමූ 3ක් මාට්ටු

207

බලපත්‍ර සහ වලංගු රියැදුරු බලපත්‍රයක් ද නොමැතිව බීමතින් මහ හඬින් ඝෝෂා කරමින් ප්‍රසිද්ධ මාර්ගයක ගමන් කළ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට ගිය හැඳල හන්දියේ රාත්‍රි මුර සේවයේ යෙදී සිටි වත්තල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකුට ත්‍රිරෝද රථයේ සිටි තිදෙනකු විසින් පහරදීම නිසා පොලිස් නිලධාරීන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වත්තල පොලිසියෙ රථවාහන අංශය පවසයි.

මෙම ත්‍රිරෝද රථයේ රියැදුරුට රියැදුරු බලපත්‍රයක් පවා නොමැති අතර ත්‍රිරෝද රථයටද බලපත්‍රය හෝ රක්ෂණ සහතික නොමැති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වත්තල හැඳල හන්දියේ ඇළකන්ද පාරේ සිට කොළඹ මීගමුව ප්‍රධාන පාර ඔස්සේ ඝෝෂාකාරීව කෑකෝ ගසමින් ත්‍රිරෝද රථයකින් ගමන් කිරීමට ගිය පිරිසකගේ මාර්ගය අවහිර කොට රථය නවතා එය පරීක්ෂා කර බීමතින් අශෝභන ලෙස හැසීරීමේ වරදට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී එහි සිටි බීමත් පුද්ගලයන් දෙදෙනා සහ රියැදුරු ද එක්ව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් ඔවුන්ට අතින් පයින් පහරදී තුවාල කර පලාගොස් ඇත.

මේ පිළිබඳව වත්තල පොලිසියට දැනුම් දීමෙන් පසු සැකකරුවන් තිදෙනා සමග ත්‍රිරෝද රථය වත්තල පොලිසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් තිදෙනාම අධික ලෙස බීමතින් සිටි බවත් ඔවුන් වත්තල මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 25, 29 සහ 30 කාණ්ඩවලට අයත් පිරිසක් බවත් පොලිසිය අනාවරණය කර ගෙන ඇත.

රියැදුරුට සහ සැකකරුවන් දෙදෙනාට එරෙහිව නීති විරෝධී බලපත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථයක් බීමතින් ධාවනය කිරීම, මාර්ගයේ අශෝභන අන්දමින් හැසිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීම ඇතුළු චෝදනා පහක් යටතේ නඩු පවරා ඊයේ (26දා) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
කැලණිය – මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment