ලයිසන් ලක්ෂ 8 ක් හිරකර මුද්‍රණ යන්ත්‍ර තෙපරබායි

157

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍රවල පවතින හිඟය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් අපේක්‍ෂාවෙන් සිටින ලක්‍ෂ 08 ක පමණ ප්‍රමාණයකට නිසි පරිදි රියැදුරු බලපත්‍ර ලබාදීමට නොහැකි වී තිබේ.

වේරහැර කාර්යාලයේ කාඩ්පත් මුද්‍රණය කිරීම සඳහා යන්ත්‍ර 09 ක් පැවතියත් මේ වනවිට ඉන් මුද්‍රණ කටයුතු සිදුකළ හැක්කේ යන්ත්‍ර 04 කින් පමණක් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පවතින යන්ත්‍රවලින් මුද්‍රණය කරන බලපත්‍ර තැපැල් මගින් හිමිකරුවන්ට යවන බව ද ඔහු කීවේය. පවතින යන්ත්‍ර අලුත්වැඩියා කරනවාට වඩා අඩු මිලට නව යන්ත්‍ර 06 ක් මිලදී ගැනීමට හැකි නිසා ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.

එම යන්ත්‍ර ගෙන්වා ගනු ලැබුවත් පවතින තොගය අවසන් කිරීමට මාස 06 ක් පමණ ගතවන බවත් සඳහන් කළේය.

දෛනිකව 2000 ක පමණ කාඩ්පත් ප්‍රමාණයක් මුද්‍රණය කරන නිසා හැකි ඉක්මණින් නව යන්ත්‍ර ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment