ලලිත්ට – කබ්රාල්ට එරෙහි නඩුව:

127

පැමිණිල්ලට අදාළ ලේඛන විත්තිය උසාවියෙන් ඉල්ලයි

හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ට එරෙහිව තීනියාවල පාලිත හිමියන් විසින් පසුගිය ජනවාරි 26 වැනිදා අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් එයට අදාළ ලේඛන මේ දක්වා සිය සේවාදායකයාට ලැබී නැතැයි එම නඩුවේ පළමු සැකකරු ලෙස නම්කර තිබූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඊයේ (21දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ පැවසීය.

පැමිණිල්ල විසින් විත්තියට ලබාදිය යුතු පැමිණිල්ලට අදාළ ලේඛන ලැබුණ පසු ඒවා අධ්‍යයනය කර එම නඩු පැවරීම සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී මූලික විරෝධතාවයක් ගොනු කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විත්තියට ලබාදිය යුතු ලේඛන පැමිණිල්ල විසින් අධිකරණ ලේඛකාධිකාරිවරියට භාරදී ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එහිදී කියා සිටි අතර පසුව අධිකරණය භාරයේ තිබූ ලේඛන ගොනුවක ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතාට භාරදෙනු ලැබීය.

එම නඩු පැවරීමට එරෙහිව එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර තිබූ ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේදී ලිඛිත දේශන ගොනු කරනු ලැබීය.

නීත්‍යානුකූල අවසරයකින් තොරව ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ දැමීමට යැයි කියමින් ඇමරිකාවේ පදිංචි පාකිස්ථාන ජාතිකයකු වන ඉමාඩ් ෂා සුබේරි නමැත්තාට ගෙවීම සඳහා කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් තීනියාව පාලිත හිමියන් විසින් පෞද්ගලික නඩුව පවරා තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment