ලාංකික කතුන් වෙන්දේසියට යවන ඕමානයේ ලිංගික වහල් කඳවුර

1107

● ජනපති අණින් පරීක්ෂණ අරඹයි ● සී. අයි. ඩී. ඕමානයට යයි
● ඒ ඒ සිරුරට ඒ ඒ මිල ගණන් ● ලිංගික අතවර නිමක් නෑ

මැදපෙරදිග ගෘහ සේවය පිණිස මෙරට කාන්තාවන් පිටත් කොට හැරීම ආරම්භ කර මේ වන විට වසර 40 ට අධික කාලයක් ඉක්ම ගොස් ඇත. තේ, රබර්, පොල් රට පැටවීම වෙනුවට මෙරට කාන්තාවන් රට පැටවීම පහසු සහ ඉක්මන් කටයුත්තක් වන බැවින් ඒ සඳහා මෙරට සහ මැදපෙරදිග කේන්ද්‍රකොට හොඳ වෙළෙඳපොලක් ද නිර්මාණය විය. ඒ අනුව වසරකට දස දහස් ගණනින් යුත් කාන්තාවන් මැදපෙරදිග බලා පිටත්ව යන්නට වූ අතර ආරම්භයේ දී එය ක්‍රමවත් සහ විධිමත් ක්‍රියාපටිපාටියකට යටත්ව සිදුවිය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියට යටත්ව ලියාපදිංචි රැකියා ඒජන්තවරයෙකු ගේ මාර්ගයෙන් “ගෘහ සේවය” පිණිස පිටත්ව යන එම ගමන කිසිසේත් සොඳුරු සුන්දර ගමනක් බවට පත් වූවේ නැත. උපන් දා සිට වින්ද දුක් නිමා කර පවුලේ ආර්ථිකයට ශක්තියක් වීම පිණිස දුර රට යන ඇතැම් කාන්තාවන්ගේ ජීවිත මැදපෙරදිගදී ශෝකාන්තයකින් නිමාවට පත් වූ අවස්ථාවන් ද බොහෝය. මැදපෙරදිග දී මෙරට කාන්තාවන්ට විදින්නට සිදු වන දුක් ගැහැට පිළිබඳ බොහෝ පුවත් ද ඒ අතර වෙති. එදත් අදත් වෙනසක් නැතුව වාර්තා වන එම පුවත් මඟින් වැඩිදුරටත් කියවෙමින් පවතින්නේ ගෘහ සේවය පිණිස මැදපෙරදිග ගොස් සිටින මෙරට කාන්තාවන්ට විඳීමට සිදුවන අපමණ දුක්ගැහැට පිළිබඳ රිදුම් උපදවන අනුවේදනීය කතා පුවත්ය.

ඉකුත් දිනෙක එවැනි පුවතක් මාධ්‍ය මගින් රට හමුවේ නිරාවරණය කළ අතර ඉන් කියවෙන්නේ එක්තරා සංවිධානාත්මක පිරිසක් එක්ව මෙරට කාන්තාවන් ඇතුළු තරුණියන් පිරිසක් ඕමානයට රැගෙන ගොස් එරටදී සල්ලාලයන්ට අලෙවි කළ කැත හිරිකිත පුවතක්ය. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ රැකියා ලබා දෙන බව පවසමින් සංචාරක වීසා මත ඕමානයට රැගෙන ගොස් සිටින එම කාන්තාවන් එහිදී විවිධ මිල ගණන් යටතේ වෙන්දේසියේ අලෙවි කර ඇති බවත් මෙම මිනිස් ජාවාරම පසුපස මෙරට ක්‍රියාත්මක විදේශ රැකියා ඒජන්සි කීපයක්ම සිටින බවය.

ශිෂ්ට සමාජය විසින් කිසිසේත් අනුමත නොකරන මෙම තුච්ච ජාවාරම සිදුව ඇත්තේ මේ ආකාරයෙන්ය. මෙරට සහ ඕමානයේ දෙපිරිසක් එක්ව එරට රැකියා සිහින පෙන්වා මෙරට කාන්තාවන් එරට වෙත රැගෙන යන අතර අදාළ සංචාරය පිණිස වැදගත්ම සාධකය බවට පත්වන්නේ රූමත් බවය. මෙම ජාවාරම පිටුපස සිටින මෙරට තැරැව්කරුවන්ගේ මාර්ගයෙන් පැහැපත් රුවින් යුත් කාන්තාවන් සහ තරුණියන් ඒ සඳහා තෝරා ගන්නා අතර සංචාරක වීසා මත ඔවුන්ව පළමුව රැගෙන යන්නේ ඕමානයේ පිහිටි රැකියා ඒජන්සි වෙතය. අපමණ සිහින සහිතව එරටට ගොඩබසින මෙරට කාන්තාවන්ගේ රැකියා සිහිනය බොඳව යෑම ආරම්භ වන්නේ එතැන් සිටය.

ජාවාරම ආරම්භ වන්නේ රැකියාවන්හි නිරත වීම පිණිස ඕමානය බලා රැගෙන ගිය කාන්තාවන්ගේ ගුවන් ගමන් බලපත්‍රය සහ අනෙකුත් වැදගත් ලියකියවිලි රැකියා නියෝජිත ආයතන විසින් ඔවුන් සන්තක කර ගැනීමෙන් අනතුරුවය. එතැන් සිට කිසිවෙකුගේ හව්හරණක් අහිමි වන කාන්තාවන් පිරිසට සිදු වන්නේ එරට රැකියා නියෝජිතයන් විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම පමණය. ඒ අනුව රැකියාවන් හි නිරත කිරීම පිණිස ඒ ඒ කාන්තාවන්ගේ සජීවී රූප රාමු අවශ්‍ය බව පවසන ජාවාරම්කරුවන් එම කාන්තාවන්ගේ බලවත් විරෝධය මැද ඔවුන්ගේ අඟ පසඟ වීඩියෝගත කර ඇත. අකැමැත්තෙන් වුවද එම පහත් ක්‍රියාවට එකද වීම හැර වෙනත් විකල්පයක් නොමැති හෙයින් ආරම්භයේදීම තම නිරුවත ප්‍රදර්ශනය කිරීම තුළින් හෝ රැකියා සිහිනය සැබෑවක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන එම කාන්තාවන්ට ඉන් අනතුරුව සිදුවන්නේ තවත් අනපේක්ෂිත සිදුවීම් මාලාවකට මුහුණ දීමය.

තක්කඩි රැකියා ඒජන්තයන් විසින් එලෙස ලබාගත් වීඩියෝ පට එරට කාමාතුර සල්ලාලයන් වෙත යොමු කරන අතර වෙන්දේසිය සිදුවන්නේ එම සජීවී රූප රාමු හොඳින් නැරඹූ පිරිස නාරි රුව දැක “සලෙල බඹරුන්” මෙන් මෙරට කාන්තාවන් මිලදී ගැනීම පිණිස වෙන්දේසි භූමිය හෙවත් රැකියා නියෝජිත ආයතන වෙත පැමිණි පසුවය. කාන්තා වෙන්දේසිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ශිෂ්ටත්වය තුට්ටුවකට මායිම් නොකොට එම කාන්තාවන්ව මුදලට විකිණීමේ ලිංගික වහල් වෙළඳාම එළිපිටම සිදුකරන තක්කඩි ඒජන්ත කරුවන් පළමුව එම කාන්තාවන් පෝලිම් කර සල්ලාලයන්ට දැක ගැනීමට අවස්ථාව සලසන අතර ඒ ඒ දේහ ලක්ෂණවලට ඒ ඒ මිල ගණන් තීරණය වන්නේ ඉන් අනතුරුවය. හමේ පැහැය උස මහත හා කාන්තා ලාලිත්‍යය ආදී නිර්ණායකයන් මත මෙරට කාන්තාවන් හා තරුණියන් එරටදී “මස්කට්” මෙන් අලෙවි වී ඇති බව මේ වන විට සිදුකර ඇති විමර්ශන මගින් හෙළිදරව් වී ඇත. එලෙස ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ කාන්තාවන් ඒ ඒ හාම්පුතුන්ට අයත් නිවෙස් වෙත රැගෙන යෑමේදී ටැක්සි රියදුරන් විසින්ද එම කාන්තාවන්ට අතවර කර ඇති බව විමර්ශනවලින් වැඩිදුරටත් හෙළිදරව් වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයක් මත මෙම ජාවාරම පිළිබඳ සොයා බැලීම පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඕමානය වෙත ගොස් මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදු කොට තිබෙන අතර ඒ සම්බන්ධව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටින්නේ එම විමර්ශන වාර්තා පදනම් කරගනිමින් මෙම මිනිස් ජාවාරම සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරගෙන යන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා ඕමානය බලා පිටත්ව ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිස විසින් අතවරයට ලක්වූ කාන්තාවන් මුණගැසී ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බවත් එම පිරිසට කාන්තාවන් හතළිස් පස් දෙනකු පමණ අයත් බවය. ඔවුන් මේ වන විට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආසන්නයේ පිහිටි සුරක්ෂා ආරක්ෂක නිවාසයේ පසුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ සම්බන්ධව අප විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් සිදු කරගෙන යන බවත් එම නිර්දේශය මත ඉදිරි කටයුතු සිදු කරන බවත්ය. මේ වෙන විට ද ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෘහ සේවය සඳහා සංචාරක වීසා මත පිටත්ව යෑම නතර කොට ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කෙසේ වුවද ශ්‍රමය විකිණීම පිණිස මැදපෙරදිග බලා යන අසරණ කතුන් රවටන්න හොර ඒජන්සිකරුවන් වෙත නිසි දඬුවම් පමුණුවන තුරු මෙවැනි පාපතර අපරාධ දිගින් දිගටම සිදු වෙනු ඇත. නැති බැරිකම් අසරණ බවත් විසින් පීඩාවට පත්කොට තිබෙන මෙරට කාන්තාවන් ගෘහ සේවය පිණිස පමණක් නොව ඒ ඒ රටවල කාමාතුරයන්ගේ ඇඟ මස පිනවීම පිණිස වෙන්දේසියේ තබා අලෙවි වෙමින් පවතින්නේ ඉහත සන්දර්භය මතය. ඒ සම්බන්ධව රටේ ජනාධිපති වරයාගේ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කිරීම බොහෝ දෙනකුගේ ප්‍රශංසාවට ලක්වන්නේ “රටවිරුවන්” ලෙස නොරට ගොස් දුක් මහන්සි වන මිනිස් සමූහය පිළිබඳව රටේ ඉහළම තැන සංවේදීවීම පිළිබඳවය. එබැවින් විධිමත් පරීක්ෂණ කටයුත්තකින් අනතුරුව මෙම ජාවාරම මෙහෙයවන ලද තක්කඩි රැල ට නිසි දඬුවම් දීම මගින් තවමත් ඕමානයේ දුක් විඳින කාන්තාවන් පිරිසට තරමක් හෝ සාධාරණයක් කළ හැක.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment