ලාංකික කාන්තාවගෙන් කෘෂිකර්මය සඳහා ලැබුණු දායකත්වය

1453

මානවයාගේ ආර්ථික ජීවිතය වර්තමානයේ මෙන්ම අතීතයෙහි ද සැකසී තිබුණේ රැකියාවන්වල රටාවන් මතය. එම නිසා පිරිමින්ට සහ කාන්තාවන්ට කෘෂිකර්මය සඳහා සමාන වගකීමක් තිබූ බව ප්‍රතික්ෂේප කළ නොහැකි කාරණයකි. රටක නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම පදනම් වී ඇත්තේ ජනතාවගේ රැකී රක්ෂාවන් මත නිසා පිරිමි සහ කාන්තා යන දෙපාර්ශ්වයම රටක ආර්ථික සංවර්ධනය සඳහා සහභාගි විය යුතුය.

ශ්‍රී ලාංකික කාන්තාව ගෘහණියක් සහ මවක් වශයෙන් තම වගකීම ඉටු කළ අතර තම ස්වාමි පුරුෂයාගේ ආර්ථික කටයුතුවලට සක්‍රියව දායකත්වය දැක් වූවාය. පැරණි ශ්‍රී ලාංකික ස්වයං පෝෂිත සමාජයෙහි කාන්තාවකගේ කාර්යභාරය බහුවිධ විය. ඕනෑම සමාජයක කාන්තාවන්ගේ ශ්‍රමය නිෂ්පාදනය සහ හුවමාරුව අතර සිදුවන විවිධ ක්‍රියාවලීන් එකිනෙකට සම්බන්ධ වුණි. නමුත් කාන්තාවන් කුමන රැකියාවන්හි නිරත වී සිටියේ ද සහ ඔවුන්ගේ කාර්යභාරයන් කෙබඳු වූයේ ද යන්න පිළිබඳව කරුණු සෙවීම පහසු නොවේ.

සමාජ ශ්‍රමය බෙදී යෑම මූලික වශයෙන්ම තීරණය වූයේ සමාජ ව්‍යුහය මතය. එය කාන්තාවගේ ශ්‍රමය සම්බන්ධයෙන් බලපෑවේ කෙසේ ද යන්න පරීක්ෂා කළ යුතුය. මූලික වශයෙන්ම පැරණි ශ්‍රී ලාංකික සමාජය කෘෂිකාර්මික සමාජයක් විය. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආර්ථික සහ සමාජ සංවිධානයන් ක්‍රි. පූ. හයවැනි ශත වර්ෂයෙහි සිට දාසයවැනි ශත වර්ෂය දක්වා විවිධ ශෛලීන් යටතේ වෙනස් වී තිබේ. මෙම වෙනස්කම් සඳහා බලපාන ලද එක් ප්‍රධාන සාධකයක් වූයේ ආදිතම කාලයෙහි ප්‍රාථමික කෘෂිකාර්මික සමාජය තුළ හටගත් වෙනස් වීම්ය. මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑවේ ක්‍රි. ව. හතරවැනි ශත වර්ෂයෙහි වාරිමාර්ගික ජාලාවක් මත සංවර්ධනය වූ කෘෂිකර්මයයි. ප්‍රාථමික කෘෂිකාර්මික සමාජයක අවශ්‍ය කරන දේ සහ ව්‍යාප්ත වූ කෘෂිකාර්මික සමාජයකට අවශ්‍ය කරන දේ අතර වෙනසක් තිබුණි. එම නිසා කෘෂිකාර්මික නිෂ්පාදන සංවිධානයේ වෙනස් වන ගතිකත්වයන් තුළ ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නය සාමාන්‍ය වශයෙනුත් කාන්තා ශ්‍රමය පිළිබඳ ප්‍රශ්නය විශේෂයෙනුත් මතු කළ යුතු වේ.

ඕනෑම ඓතිහාසික යුගයක යම්කිසි කණ්ඩායමක සේවාවන්හි යෙදීම තීරණය කරන සාධක කීපයක්ම ඇති බව පෙනේ. එනම් එම සමාජයේ පවතින පුරුෂාර්ථ, අවශ්‍යතා රටාව, සම්පත් ස්වභාවය, සමාජ සංකීර්ණත්වය සහ අදාළ කණ්ඩායමට සමාජ සංස්ථාවේ හිමි වී ඇති ස්වභාවයයි. පැරණි ලක්දිව පැවතියේ බුද්ධාගම නිසා පෝෂණය වූ සංස්කෘතියකි. එහෙයින් රැකියාවන් සඳහා යොදා ගන්නා ලද්දේ දැහැමි උපාය මාර්ගය. ජීවන රටාව ද සරල වූ අතර එය සීමා සහිත අවශ්‍යතාවන්ගෙන් සමන්විත විය. ස්වභාවික සම්පත් උපයෝගී කර ගැනීමට තිබූ ප්‍රවනතාව නිසා මිනිසුන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට ගොවිබිම සහ කැලෑ ප්‍රදේශ ප්‍රමාණවත් විය. නිදසුනක් වශයෙන් ගෘහ උපකරණ සියල්ලක්ම පොළොවෙන් ලබා ගත් මැටියෙන් හෝ කැලෑවෙන් ලබා ගත් දැවෙන් හෝ තනා ගන්නා ලදි.

මෙම ආකාරයට සීමා සහිත වූ අවශ්‍යතාවන් බොහෝ දුරටම තමා විසින්ම අවට පරිසරයෙන් සපයා ගැනීමත් පීතෘ මූලික සංස්ථාවක් පැවතීමත් නිසා කාන්තාව ගෙදර දොරේ ගෙවත්තේ හේනේ සහ කුඹුරේ කළ යුතු වැඩ කොටස ඉතා විශාල විය. පැරණි ලක්දිව පැවති අර්ථ ක්‍රමය අනුව කාන්තාව ආදායම් ඉපයීමේ කාර්යයයේදී සම වශයෙන් හෝ ද්වීතිය වශයෙන් හෝ ඒ වෙනුවෙන් සිය ශ්‍රමය මෙහෙය වූවාය. ආහාර සකස් කිරීම සහ ආහාර පිසීම වැනි කටයුතුවලදී ඇයට ප්‍රධාන කාර්යභාරයක් පැවරුණු බැවින් කුඹුරේ වැඩවලදී කාන්තාවගෙන් ඉටු වූයේ සහාය සේවාවකි. ඒ අනුව පුරුෂ පක්ෂය කැත්ත, උදැල්ල සහ පොරොව සම්බන්ධ කටයුතුවල නිරත වූ අතර කාන්තාව මොහොල, කුල්ල සහ ඉදල වැනි මෙවලම් හැසිරවීමෙහි වඩාත් හුරු වූවාය. මෙලෙස ගෘහස්ථ ජීවිතයේදී ගැමි කාන්තාවක විසින් ඉටු කරන ලද කාර්යයන් අතර ගොවිතැන් කිරීමේදී සහාය වීම ධාන්‍ය වර්ග ප්‍රවාහනය සහ ගබඩා කර ගැනීම එම ධාන්‍ය වර්ග නා නා විධ ආහාර සඳහා සකස් කර ගැනීම සහ එසේ සකස් කර ගත් ආහාර ද්‍රව්‍යවලින් කෑම පිස ගැනීම ප්‍රධාන විය. දඹදෙණිය සහ කුරුණෑගල යුගයන්හිදී රචනා වූ සද්ධර්මරත්නාවලියෙහි සහ පන්සිය පනස් ජාතක පොතෙහි ශ්‍රී ලංකාවේ වී කර්මාන්තය පිළිබඳව තොරතුරු දැක්වේ. සද්ධර්මරත්නාවලියෙහි දැක්වෙන විස්තරවලට අනුව පැරණි ශ්‍රී ලාංකික ජනතාව සමස්ත වර්ෂය පුරා කෘෂිකර්මයෙහි නියැළී තිබේ.

පළමුකොට කුඹුරු ගෙවඩිය යුතුය. ඉක්බිති බිම් නැඟිය යුතුය. පසුව දෙසී සෑව යුතුය. මියර කෙටිය යුතුය. තුන් සී සාන්ට යුතුය. කැට කලා පෝරු ගෑ යුතුය. කලල්ලම් කටයුතුය. වපුළ යුතුය. වැට බැන්ද යුතුය. ඉස්නන් තෙමිය යුතුය. දිය බැන්ද යුතුය. ගොයම් රෝගයට කෙම් කළ යුතුය. ගොයම් පැසී ගිය කලක දා මැඩ අටුකොටුවල ලිය යුතුය. පෙරළා හිපිනැලි සෑව යුතුය. වල්පොළ කෙටිය යුතුය. දවා හෙළි කටයුතුය. වපුළ යුතුය. මාස් සමස ගොයම් පැසී ගිය කලත් මෙලෙසම කටයුතුය. යනාදිත් හවුරුදු පතා කළමනා කර්මාන්තයෙහි… කෙළවරක් නොපෙනෙයි.

කාන්තාවන් ගොවියන්ගේ සහායිකාවන් ලෙස ගොවිතැනේදී සම්බන්ධ වී සිටින්නට ඇත. ඉහතින් සඳහන් කළ සද්ධර්මරත්නාවලියෙහි සඳහන් වන විස්තරය පැරණි සිංහල ජනතාවට ක්‍රමවත් වූ කෘෂිකර්මාන්තයක් පිළිබඳව අති විශිෂ්ට අත්දැකීමක් තිබූ බව හෙළි කරයි.

වී ගොවිතැන සඳහා කාන්තාව ඉතාමත්ම කාර්යක්ෂමව සහ උද්යෝගයකින් සහභාගි වූවාය. එම නිසා කාන්තාව කෘෂිකර්මාන්තය සඳහා සහභාගි වීමෙහිදී දක්නට ලැබුණේ සමහර කටයුතුවලට පමණ යැයි කිව නොහැකිය. එය රැඳී පැවතුනේ ජනතාවගේ සමාජ පන්තිය සහ ආර්ථික තත්ත්වය මතය. සමහර ශිලාලේඛනවලට අනුව ශ්‍රී ලංකාව පාලනය කළ සමහර රැජිනියන් වී ගොවිතැන සංවර්ධනය කිරීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය කරමින් අනුග්‍රහය දැක්වීය. නිදසුනක් ලෙස බතලගොඩවැව ශිලාලේඛනය දැක්විය හැකිය. මෙම ශිලාලේඛනය ක්‍රි. ව. 1202 සිංහාසනය හෙබවූ කල්‍යාණවතී රැජිනගේ පස්වැනි රාජ්‍ය වර්ෂයට දින නියම කර තිබේ. ශිලාලේඛනය පිහිටුවීමෙහි ප්‍රධාන බලාපොරොත්තුව වූයේ බතලගොඩවැවට සම්බන්ධව කළ ප්‍රතිසංස්කරණ වාර්තා කිරීමය. එය පහත සඳහන් ආකාරයෙන් දක්වා තිබේ.

මෙකල මායා රාජධානියෙහි මධ්‍ය දේශයෙහි පිහිටි වැවේ වෑ කන්ද තුන් තැනකින් බිඳී පැවතීමත් එහි ඇළවල් සහ සොරොව්ව කැඩී බිඳී ගොස් තිබූ නිසා ඒ සියල්ල ප්‍රතිසංස්කරණය කර භාවිතය සඳහා යොදා ගන්නා ලදි. එසේ ප්‍රතිසංස්කරණය කළත් බොහෝ කුඹුරුවලට සහ වතුවලට ජලය ගලාගෙන යෑම ප්‍රමාණවත් නොවීය. ඔහු විසින්ම මේ පිළිබඳව සොයා බලා අතීතයෙහි ද දෙවැනි සොරොව්වක් නොතිබූ බව දැනගෙන සොරොව්වක් තැනීම සඳහා සුදුසු ස්ථානයක් ද අවබෝධ කරගෙන ඔහුගේ නාමය වූ අධිකාර ඇතුළත් කොට අධිකාර සොරොව්ව ඉදි කර කෘෂිකර්මාන්තය සඳහා භාවිතයට ගැනිණි.

මෙම ශිලාලේඛනයෙහි දැක්වෙන විස්තරයට අනුව ඇමැතිවරයෙක් වැවේ ප්‍රතිසංස්කරණ කිරීම සඳහා සහයෝගය ලබා දී තිබේ. මෙම කාර්යය ක්‍රියාත්මක කරන්නට ඇත්තේ කල්‍යාණවතී රැජිනගේ උපදෙස් මත විය හැකිය.

වී ගොවිතැන හා බැඳි ඉතා වැදගත් උත්සවයක් වූයේ වප් මඟුල් උත්සවයයි. වප් මාසයෙහි (ඔක්තෝබර්) පවතින වර්ෂාව නිසා ඉතා මනා ලෙස වී ඇට රෝපණය වේ. එම නිසා වී වර්ධනය වීම සඳහා ආරම්භ වන්නේ වප් මාසයෙහිය. සද්ධර්මාලංකාරය කාන්තාවන් තම ශ්‍රමය යෙදීමෙන් පිරිමි පාර්ශ්වය මෙන් වප් මඟුලට සහභාගි වූ බව සඳහන් කරයි. උන්ගෙන් මහත් වූ වප් මඟුලක් විය. නොයෙක් සිය ගණන් මනුෂ්‍යයෝ කර්මාන්තයෙහි නියුක්ත වූවාහු සර්වාංගයෙන් ධවල වූ සුදු ගොනුන් කසා නාවා කර පොල් ආභරණ පළඳවා අංවලට රන් රිදී කුප්පි බහා පය රන් රසු බැඳ සර්වාලංකාරයෙන් සරසා නඟුල් වියදඬු ආදියෙහි යොදා සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ විභවානුරූප පරිද්දෙන් නොයෙක් කන බොන දෑ සපයා කමින් බොමින් සර්වාභරණයෙන් සැරසී සමහරෙක් සාති. සමහරෙක් වපුරති. ගෙවල ස්ත්‍රී ජනයෝ ද ඒ පරිද්දෙන්ම වස්ත්‍රාභරණලංකාරයෙන් සැරසී මහත් වූ උත්සවයෙන් වපුරති. මෙම විස්තරයට අනුව බොහෝ කාන්තාවෝ වප් මඟුලට සහභාගි වූහ. ගොවියන් කුඹුරට බැස සී සෑවේ බොහෝ ආභරණ පැළඳගෙන සහ ආභරණවලින් සැරසූ සුදු ගොනුන් යොදා ගෙනය. කාන්තාවන් මනා ලෙස සැරසී සිටි අතර ඔවුහු වී වැපුරූහ. එම නිසා කාන්තාවට ඔවුනගේ නිවෙස්හි කාර්ය බහුල ජීවිතයක් ගත කිරීමට සිදු වුවත් වී ගොවිතැන සඳහා තම කාලය යෙදවූ බව පැහැදිලිව අවබෝධ කර ගත හැකිය.

කුඹුරේ වී වැපුරුවාට පසුව කමතට ගොයම් ගෙනෙන තුරු කිරීමට කාර්යයන් ගණනාවක් තිබේ. පැළ රෝපණය වූවායින් පසුව කුඹුරේ ඒවා වර්ධනය වීම ඉතා වැදගත් කාර්යයකි. ගොයියන් විසින් කුඹුරේ වී ඉසීමෙන් පසුව සමහර විට ඒවා එක් තැනකට එකතු විය හැකිය. එම නිසා කුඩා වී පැළෑටි ගලවා ඒවා එම ලියද්දේම වෙනත් ස්ථානයක සිටුවිය යුතුය. විශේෂයෙන්ම මෙම කටයුත්ත කරනු ලැබුවේ කාන්තාවන් විසින්ය. මෙම කටයුතු සිදු කෙරෙන අතර තුර කාන්තාවෝ කුඹුරේ වල් පැළෑටි ඉවත් කිරීමෙහි නිරත වූහ. වර්තමානයෙහි මෙන් අතීතයෙහිදී කෘමිනාශක නොතිබූ නිසා වල් පැළෑටි ඉවත් කිරීමට සිදු වූයේ ගොවියන්ගේ අතින්මය. මව්වරු ඔවුන්ගේ කුඩා දරුවන් සමඟ කුඹුරට පැමිණ ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට ගොවිතැන කරගෙන යෑම සඳහා සහාය වූහ. සද්ධර්මාලංකාරයෙහි නන්දිමිත්‍ර වස්තුව අපට ඒ පිළිබඳව විස්තර කරයි.

වගා කරන ලද කුඹුර ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරනවිට එය කාන්තාවන්ගේ ප්‍රධාන වගකීමක් වූ අතර දිනපතා සිදු කරන කටයුත්තක් ලෙසින් එය කිරීමට සිදු වූයේ ගොයම් වැවෙන කාලය අතර තුරේදීය. ඒ බව පූජාවලියෙහි පහත සඳහන් ආකාරයෙන් සඳහන් වී තිබේ. පැසෙන මස මුළුල්ලෙහි බස බරළ වනතුරු හඬග හඬගා කුඹුරෙහි ඒ මුල්ලෙන් ඒ මුල්ලට දිව දිව කමිසේ නැතිව කුරුලු-කොබෝ-ගිරා ආදී වූ වී කන සතුන් බිණුව මැනව. මෙම පාඨයට අනුව පෙනී යන්නේ කාන්තාවන් කුඹුරේ එහා මෙහා යමින් ඝෝෂා කරමින් ගිරවුන් වැනි කුරුල්ලන් එලවූ බවයි. එක් එක් වී වර්ග කුඹුරේ වර්ධනය වනවිට කුඹුර ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය විය. හීනටි නමැති වී වර්ගය කුඹුරක ඉස තිබෙන විට මාස තුනක් හෝ හතරක් කුරුල්ලන්ගෙන් ආරක්ෂා කර ගත යුතු අතර මා වී ඉස තිබෙන විට මාස හතක් කුරුල්ලන්ගෙන් රැක ගත යුතුය.

ගොයමේ වර්ධනය මධ්‍ය කාලය පමණ වූ විට කුඩා ගැහැනු ළමයෙකු විසින් හෝ තරුණු ගැහැනු ළමයෙකු විසින් කුරුල්ලන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගත යුතුවිය. කුරුල්ලන් එලවීම ඉතා සිත්කලු විනෝදාංශයක් විය. එම නිසා කාන්තාව මෙම කටයුත්ත කරනු ලැබුවේ ගීත ගායනා කරමිනි. ඉතා ධනවත් සිටුවරයෙක් කුඹුර ආරක්ෂා කිරීම සඳහා ගැහැනු ළමයෙකු යැවූ අතර ඇය එහි කුඩා පැලක සිටිමින් ගීත ගායනා කරමින් කුඹුර ආරක්ෂා කළාය. එකල ඒ සිටාණෝ බොහෝ ඇල් කෙත් වපුරුවා ගොයම් පීදී පැසෙන අවස්ථාවෙහි ඒ තමන්ගේ දාස කුමාරිකාව කැඳවාගෙන ගොයම් රකින්නට යැවූහ. ඒ කුමාරිකාවෝ කෙතට ගොස් කුරුලු කොබෝ ආදි වූ සතා සතුන් බැණ ඇල් කෙත අසල දඩ පැළක උන්නාහු…. ගී කිය කියා උන්හ. සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන මෙම සඳහනට අනුව ඇය විනෝදයෙන් කුඹුරේ වැඩ කටයුතු කළාය. එමෙන්ම මෙවැනි කටයුතුවල යෙදුණු කාන්තාවන් පිළිබඳව වංගීස සංයුත්තකයෙන් ද සද්ධර්මරත්නාවලියෙන් ද අපට තොරතුරු ලැබේ.

වී සහ හේන් ගොවිතැනේදී සහයෝගය පුරුෂ පක්ෂයට කාන්තාවන්ගෙන් නොමඳව ලැබුණි. විශාල හැල් හේන් පිළිබඳව මෙම කාලය තුළ රචනා වී ඇති බොහෝ සාහිත්‍ය කෘති තුළින් පැහැදිලි වේ. පොළොන්නරුව යුගයෙහිදී හේන් වගාව පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබුණි. මෙම හේන්වල වී උඳු (phaseolus mungo), මෑ (Vigna Cylindraika) , මුං (phaseolus aureus), මෙනේරි (paspalam scrobiculatum), අබ (Brassica juncea), දුරු (Cuminum cuminum) සහ තණ (Setaria italic) වැනි ධාන්‍ය වර්ග වගා කරන ලදි. අනුරාධපුර යුගයෙහිදී වගා කරන ලද ධාන්‍ය වර්ගයක් ලෙස කන්ගු සඳහන් කළ හැකිය. ගම්පොළ සහ කෝට්ටේ යුගයන් වනවිට හැල් වී වගා කළ කුඹුරු ආරක්ෂා කිරීම කාන්තාවන්ගේ කාර්යයක් වූ බව සංදේශ කෘතිවලින් පෙනේ. එමෙන්ම ගෙවිලියන් පිළිබඳව ද මෙම සංදේශ සාහිත්‍යයෙන් තොරතුරු ලැබේ. පරෙවි සැවුල් ගිරා සැලළිහිණි කෝකිල සහ තිසර වැනි සංදේශ කෘතිවල ගෙවිලියන්ගේ භූමිකාව පිළිබඳව විස්තර කෙරේ. නිදසුන් ලෙස තොටගමුවේ ශ්‍රී රාහුල තෙරුන් විසින් රචිත පරෙවි සංදේශය සීනු සොලවමින් කුරුල්ලන් එලවන ලද ගෙවිලියන් පිළිබඳව විස්තර කරයි.

ලාංකික කාන්තාවගෙන් කෘෂිකර්මය සඳහා ලැබුණු දායකත්වය

ඇල් වී කුඹුරු ආරක්ෂා කිරීම සහ කපු හේන්වල ආරක්ෂාව ගෙවිලියන්ගේ වගකීමක් විය.

වී වගාවේදී ගොයම් නෙළීම කාන්තාවන්ගේ ප්‍රධාන කටයුත්තක් විය.

වී රැස් කර ගත් පසුව වී බොල් සහ පිදුරු ඉවත් කිරීම කාන්තාවන්ට පැවරුණි. පැරණි සමාජය තුළ දක්නට ලැබුණු ප්‍රධාන ලක්ෂණයක් වූයේ කුඹුරු ගොවිතැන සහ හේන් ගොවිතැනේදී නියමිත සෑම කටයුත්තකදීම තම පියාට හෝ ස්වාමි පුරුෂයාට ලැබුණු සහයෝගයයි. ගෙදර හෝ ගෙවත්තේ කෙතරම් වැඩ තිබුණත් පිරිමින් සමඟ වැඩ කිරීමට කාන්තාව අදිමදි කළේ නැත. එම නිසා සමහරවිට ඇය තම ස්වාමි පුරුෂයාගෙන් හෝ පියාගෙන් ගෞරවයට ලක් වූවාය.

කුඹුරු ගොවිතැනේ හෝ හේන් ගොවිතැනේ යෙදී සිටි ස්වාමි පුරුෂයාට පියාට හෝ ඥාතීන්ට දිවා ආහාරය සැපයීම පැවරී තිබුණේ කාන්තාවන්ටය. මෙම කාර්යය සඳහා කුමාරිකාවෝ ද සහභාගි වූහ. මේ සඳහා නිදසුන් ලෙස අපගේ කාල පරිච්ඡේදයට අදාළ නොවුණත්

පාලි කුමාරිකාව සහ සුබ රජුගේ දියණිය පිළිබඳ විස්තර සඳහන් කළ හැකිය. ගොවිතැන ප්‍රධාන වෘත්තිය වශයෙන් කළ ග්‍රාමීය සමාජයේ කාන්තාවෝ ද දිනපතා ආහාර පිළියෙල කළාහ. මේ සම්බන්ධයෙන් සද්ධර්මරත්නාවලිය බොහෝ නිදසුන් සපයයි. ග්‍රාමීය ජනතාව ප්‍රධාන වශයෙන් වාසය කළේ ගමේ පිහිටා තිබූ වැවකට ආසන්නයෙහිය. කුඹුර පිහිටා තිබුණේ ජලය ලබා ගැනීමේ පහසුව සඳහා වැවට ආසන්නයේය. මධ්‍යාහ්නයේ ඉර මුදුන් වනවිට කාන්තාවෝ දිවා ආහාරය (ඇඹුල) රැගෙන කුඹුරට යති. එය කාන්තාවන්ගේ දෛනික කාර්යභාරයන්ගෙන් එකක් විය. අනුරාධපුර යුගයට අයත් සමහර ශිලාලේඛනවල වසරකට තුන් වතාවක් කුඹුරු ගොවිතැන් කළ බව සඳහන් වේ. මෙයින් පෙන්නුම් කරන්නේ පැරණි සහ මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ කාන්තාවන්හට වී ගොවිතැන සම්බන්ධයෙන් ඉතා විශාල භාරදූර කර්තව්‍යයක් පැවරී තිබූ බවයි.

වී රැස් කර ගත් පසුව කුඹුරේ සිට නිවසට මේවා ප්‍රවාහනය කරනු ලැබුවේ ගොන් කරත්තවලින් හෝ මිනිසුන් විසිනි. එම වී නිවස තුළ මනා ලෙස ගබඩා කළේ කාන්තාවන් විසිනි. ථෙරී ගාථා නමැති කෘතියට අනුව ආහාර සඳහා මේවා සකස් කරනවිට සමහර කාන්තාවෝ භාවනා කළහ. ථෙරි ගාථාවල සඳහන් වන කථාවලට අනුව භාවිතය සඳහා වී සකස් කිරීම සමකාලීන ඉන්දියාවේ කාන්තාවන්හට පැවරී තිබුණු ප්‍රධාන කටයුත්තක් විය. භික්ෂුණියක් බවට පත් වූවායින් පසුව සුමංගලා නමැති භික්ෂුණීන් වහන්සේ සුමුත්තිකෙ සුමුත්තිකෙ සාදු- මුත්තිකම්හි මූසලස්ස යනුවෙන් වී කෙටීමේ කටයුතුවලින් මිදුණු බව ප්‍රකාශ කළාය. මෙම ප්‍රකාශනයෙන් අපහට ලබා දෙන පණිවුඩය වන්නේ ඇය සියලුම කරදරවලින් මිදුණු බවයි. නිවස තුළ වැඩ අධිකව තිබෙන විට දිනයක් තුළ එම වැඩ නිම කිරීමට ඇයට අපහසු විය. එම නිසා නින්දක් නොමැතිව රාත්‍රිය පුරාමත් ඇයට වැඩ කිරීමට සිදු වන්නට ඇත.

ගෘහණියට කුඹුරේ, හේනේ, නිවස තුළ සහ ගෙවත්තේ ද බොහෝ කටයුතුවල යෙදෙන්නට සිදුවිය. සමහර සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව පිපිඤ්ඤා, බෝංචි, කරබටු (Solenum sp), තිබ්බටු (Solenem indicum), වම්බටු (Solenum melongena), අලු පුහුල් (Beninkasa hispida) සහ වට්ටක්කා (Cucurbita maxima) වැනි එලවළු ද, අඹ සහ කෙසෙල් වැනි පලතුරු ද කාන්තාවෝ වගා කළහ. මෙම විස්තරවලට අනුව පැරණි ශ්‍රී ලාංකික කාන්තාව වී ගොවිතැන සහ හේන් ගොවිතැන ඇතුළු සියලු කටයුතුවල ඉතා ධෛර්යමත්ව නායකත්ව භූමියක් ඉටු කළහ.

පැරණි ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ වාණිජ කටයුතුවලට ප්‍රමුඛ ස්ථානයක් හිමි විය. සාහිත්‍ය සහ ශිලාලේඛන මූලාශ්‍රයන්හි වෙළෙන්දන් පිළිබඳව තොරතුරු ඇතුළත් වී තිබුණත් වාණිජ කටයුතුවල යෙදී සිටි කාන්තාවන් පිළිබඳව තොරතුරු සෙවීම දුෂ්කර වේ. නමුත් කෝට්ටේ යුගය වනවිට සංදේශ සාහිත්‍යයන්හි පිරිමින් මෙන්ම කාන්තාවන් ද වෙළඳ කටයුතුවල යෙදී සිටිය බව සඳහන් වේ. නිදසුනක් ලෙස ගිරා සන්දේශ කතුවරයා කිසිම ආකාරයක රැවටීමක් හෝ වංචාවක් නොකර වෙළඳ කටයුතුවල යෙදුණු කාන්තාවන් පිළිබඳව විස්තර කරයි.

ලාංකික කාන්තාවගෙන් කෘෂිකර්මය සඳහා ලැබුණු දායකත්වය

මෙයින් විස්තර කරන්නේ කාන්තාවන් වෙළෙඳපළවල්වල පමණක් නොව ගස් යට ද වෙළඳ කටයුතුවල යෙදී සිටිය බවයි. ගම්පොළ යුගයෙහි රචනා කරන ලද තිසර සන්දේශයෙහි කාන්තාවන් ඔවුන් ශබ්ද නඟා කෑගසමින් වෙළඳ නිෂ්පාදන විකිණූ බව විස්තර කෙරේ.

කාන්තාවන් විසින් ගත කළ යහපත් ජීවිතය පිළිබඳව පමණක් සංදේශයන්හි සඳහන් වන පද්‍යවලින් විද්‍යමාන වේ. අව්වැසි නොබලා සල්පිල් උඩ හිඳගෙන බඩු මිල හඬ නඟා කියමින් වෙළෙඳාම් කිරීමට ඔවුන් ගන්නා ලද උත්සාහය පිළිබඳ තොරතුරු සංදේශ කාව්‍යවල සොයා ගැනීමට නැත්තේ එබැවිනි.

පොතපත ඇසුරිනි.

මහාචාර්ය එන්. ඒ. විමලසේන
ඉතිහාසය අධ්‍යයනාංශය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment