ලාංකික සිනමාවට නැවුම් උදෑසනක් ඇල්බොරාදා

939

කලා කෘතියක් විනිශ්චය කිරිමේ මිනුම්දඬු මේ යැයි යමකුට නිශ්චිත සීමා මායිම් පැනවිය නොහැක. එය බොහෝ දුරට රසවිඳින්නාගේ රසඥතාව, රුචි අරුචිකම්, මානසික වියවුල්භාවය හෝ නිරවුල්භාවය යනාදී කරුණු ගණනාවක් මත රඳා පවතී.

අප කතා කරන්නට යන්නේ ‘‘ඇල්බොරාදා’’ චිත‍්‍රපටය ගැන නිසා සිනමාව ගැන කතා කළොත් උළෙලවලට යවන එකම චිත‍්‍රපටයකට ලැබෙන ප‍්‍රතිචාර විවිධ විය හැකි බව කිව යුතුය. එක් සිනමා උළෙලකදී විශිෂ්ට චිත‍්‍රපටයක් ලෙස රෙකමදාරුව ලබන චිත‍්‍රපටයක් තවත් සිනමා උළෙලකදී පැත්තකට විසි වී යා හැක්කේ ඒ නිසාය. මෙරට සිනමා විචාරයේදී ඉහත සඳහන් කළ කරුණු කාරණා පරයා යමින්, සිනමා නිර්මාණය නොව සිනමාකරුවා පිළිබඳ රුචි අරුචිකම් මත විචාරය කිරීමට උත්සුක වනු දක්නට හැකිය. ‘‘ඇල්බොරාදා’’ චිත‍්‍රපටය පිළිබඳ කෙරෙන විචාර ද මේ රාමුව තුළ කොටු වන අවස්ථා දක්නට හැකිය. මා චිත‍්‍රපටයක් විචාරයට හසු කරන්නේ අඩුම තරමින් දෙවතාවක් නැරඹීමෙන් අනතුරුවය. එසේ නොනරඹන නැවත නරඹන්නට හිතෙන්නේවත් නැති චිත‍්‍රපට ගැන කෙටි සටහනක් තබා නිහඬ වීම මගේ විලාසයයි. බොහෝ විට කතාව කියැවීමට ගන්නා උත්සාහයේදී මගහැරී යන කරුණු නැවත නැරඹීමේදී ග‍්‍රහණය කර ගන්නට ඉඩකඩ ලැබේ.

‘‘ඇල්බොරාදා’’ නම් තවත් වරක් හෝ වාර ගණනාවක් නැරඹිය හැකි චිත‍්‍රපටයක් බව සඳහන් කරමින් මේ කෙටි සටහන ලියා තබමි.

මෙම චිත‍්‍රපටයට පාදක වන්නේ ලෝ පතළ කවියකු වූ චිලී ජාතික පැබ්ලෝ නෙරූදා (මේ නම සැබෑ නම නොවේ, පසු කලෙක ආරෝපණය කරගත් නමකි.) තමන්ගේ මතක ලියා තැබූ සටහනක සඳහන් කොට තිබූ එක් සිද්ධියකි. එනම් දැනට දශක ගණනාවකට පෙර ලංකාවේ කොන්සල් ජනරාල්වරයා ලෙස චිලී රජය මගින් පත්කොට එවූ නෙරූදා තරුණයා තම නිවසේ වැසිකිළි සෝදන්නට ආ සක්කිලි තරුණියක හා යහන්ගත වීමේ සිදුවීමයි.

මේ සිද්ධිය ලියැවී ඇත්තේ නෙරූදා ඉන් වසර හතළිහකට පසුව ලියූ “Memories” නම් වූ මතක කෘතියේය. නෙරූදා ගැන ඔහුම ලියා ඇති පරිදි පැබ්ලෝ නෙරූදා ස්තී‍්‍රලෝලියෙකි. ඔහුම ඒ බව සඳහන් කොට ඇත. තමන් ඇසුරු කළ කාන්තාවන් ගැන විටෙක විවෘතව ලියන ඔහු තවත් විටෙක බොහෝ කරුණු සඟවයි. කොටින්ම ඔහුගේ එක් විවාහයක් හා ඉන් ජනිත වූ දරුවා ගැන වචනයක් හෝ නොලියයි.

එහෙයින් බලන කල “Memories” පොතේ සමහර කරුණු මනඃකල්පිත ඒවා දැයි විශ්ලේෂකයන් සැක පහළ කරන්නේ සමහර කරුණු අවශ්‍ය පමණට හෙළිදරව් නොකළ බවට අනුමාන කරමිනි. කලින් කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ බුරුම දේශයේදී එක වහලක් යට දිවි ගෙවූ ජොසී නම් කාන්තාව තමන් සොයා ලංකාවට පැමිණීමත්, ඇගෙන් මිදීමට ඔහු ගත් නොයෙක් උත්සාහයත් වර්ණනා කරන නෙරූදා තමන් බලහත්කාරයෙන් සම්භෝග සුව විඳි සක්කිළි කාන්තාව ගැන කෙටි සටහනක් පමණක් ලියා තබයි. එක් උදෑසනක මෙහි කෙළවරක් දැකීමට මම තීරණය කළෙමි. මම ඇගේ මැණික්කටුව දැඩිව ග‍්‍රහණයට ගෙන ඇගේ ඇස්වලට එබී බැලූවෙමි. ඇය සමඟ කතා කළ හැකි මඟක් නොවීය. සිනහවකින් හෝ තොරව ඇය මා සමග පැමිණි අතර, ඉතා සුළු වේලාවක් අතරතුර මගේ ඇඳ මත නිරුවත් වූවාය. ඇගේ සිහිනිඟත්, පුපුරන්නට තරම් වන පුන් පියයුරුත්, ඇය දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පැරණි පිළිමවලින් එකක් බවට පත්කර ඇත. එය වූ කලී පුරුෂයකු සමඟ පිළිමයක සම්භෝගයක් විය. ඇය කිසිදු ප‍්‍රතිචාරයකින් තොරව ඒ මුළු කාලය පුරාම ඇස් හායි ගා ඇරගෙන සිටියාය. ඇය මා පිළිකුල් කිරීම නිවැරදිය. එය නැවත සිදුවූයේ නැත.’’

ජොසී පිළිබඳ අතිශයෝක්තියෙන් සටහන් තබන නෙරූදා සක්කිලි තරුණිය ගැන කෙටි සටහන් තැබීමෙන් සෑහීමකට පත් වෙයි. ඇගේ කැමැත්ත දිනාගැනීමට විවිධ උපක‍්‍රම භාවිතා කළ ආකාරය ලිියා තබන නෙරූදා ඇය ‘‘සුළු වේලාවක් අතරතුර ඇඳ මත නිරුවත් වූවාය’’ යනුවෙන් ලියා ඒ පරිච්ෙඡ්දය වසා තබයි. අශෝක හඳගම ‘‘ඇල්බොරාදා’’ චිත‍්‍රපටය නෙරූදා සැඟවූ තැනින් ආරම්භ කරයි. ඉතිහාසය යනු අවිනිශ්චිත ෆැන්ටසියක් වන තත්ත්වයකදී එය හාරා පාදා ගන්නට නිර්මාණ ශිල්පියකුට ඇති අයිතිය කිසිවකුටත් ප‍්‍රශ්න කළ නොහැකිය. කොටින්ම ‘‘ඇය ඇඳ මත නිරුවත් වූවාය’’ යන්න නිරුවත් වන්නට ඇත්තේ ස්ව කැමැත්තෙන්ද, නැතහොත් එහි බලහත්කාරයක් වූයේ ද යන්න නිර්වචනය කර ගැනීමට චිත‍්‍රපටකරුවකුට ඇති අයිතිය ප‍්‍රශ්න කළ නොහැකිය. අපට කළ හැක්කේ, අප කළ යුත්තේ චිත‍්‍රපටයේ මවන රූප මාලාව, ගොඩනඟන අන්තර්ගතය කොතෙක් දුරට චිත‍්‍රපටයට සාධාරණයක් ඉටු කරන්නේ ද යන්න සොයා බැලීමයි.

යථාර්ථය හරියටම නිරූපණය වෙන්නේ වාර්තාගත කිරීම තුළ නොව ප‍්‍රබන්ධගත කිරීම තුළ බව කිසලොම්ස්කි නමැති මහා සිනමාකරුවා පවසා ඇත. අශෝක හඳගම සිදුකර ඇත්තේ ද මේ ප‍්‍රබන්ධගත කිරීමයි. ඔහු නෙරූදා යථාර්ථවාදීව කියවා ගැනීමට උත්සුක වන්නේ මේ ප‍්‍රබන්ධය හරහාය.

ඒ සඳහා සිනමාකරුවා තෝරා ගන්නේ තමන්ට රිසි සිද්ධි පමණකි, තමන්ට රිසි චරිත පමණකි. නෙරූදාම සඳහන් කරන තමා සමග ලංකාව හැරදා පිටත්ව යන බුම්පි නමැති සිංහල කොලූවාත්, ඔහු රැගෙන යන හුරතලේට හදා වඩා ගත් මුගටි දෙනකත් චිත‍්‍රපටයෙන් ඉවත් වී දෙමළ සේවකයකු චිත‍්‍රපටය අරක් ගන්නේ ඒ ආකාරයටය.

ඇත්තෙන්ම මේ දෙමළ සේවකයා ලෙස රඟන මැල්කම් මචාඩෝ ‘‘ඇල්බොරාදා’’ චිත‍්‍රපටය තුළ අරක් ගන්නා බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. ඔහු පෙනී සිටින හැම රූප රාමුවක්ම අපගේ මතකයේ බොහෝ කලක් රැඳී තිබෙනු ඇත්තේ මචාඩෝගේ විශිෂ්ට රංගනය හේතුවෙනි.

ඒ හැම අපගේ සිත් ඇදබැඳ තබා ගන්නේ වියට්නාම් හා ප‍්‍රංශ මිශ‍්‍ර සම්භවයක් ඇති ඈන් හාටේ නමැති ජොසීගේ චරිතය අත්පත් කරගන්නා රංගන ශිල්පිනියයි. හිසේ හාල් මල්ලක් හා කටේ දිගු සුරුට්ටුවක් රඳවාගෙන නෙරූදාගේ නිවසේ දොර අබියස පෙනී ඉන්නා මේ නිළිය කඳුළු ගංගාවක් වගුරවමින් සමුගෙන යන මොහොත දක්වා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනා ගනී. ඇගේ පේ‍්‍රමය සිනමාපටය පුරා සිහින් හුයක් සේ දිවේ.

පැබ්ලෝ ලෙස රඟන ලූයිස් රොබෙරෝ ස්පාඤ්ඤ රටේ ප‍්‍රසිද්ධ කවියෙකි. චිත‍්‍රපටයේ එන කවි ඔහු ගායනා කරන්නේ සිය මතකයෙනි. ඒ තරමට නෙරූදාගේ කවි, ලූයිස්ට මතක බව අධ්‍යක්ෂ හඳගම ප‍්‍රකාශ කොට තිබිණ. ඇත්තෙන්ම පැබ්ලෝ ලෙස රඟපාන්නට ලූයිස් තෝරා ගැනීමම අධ්‍යක්ෂවරයා ලද ජයග‍්‍රණයකි. මේ රංගන ශිල්පියා කිසිදු ආයාසයකින් තොරව ඒ ඒ අවස්ථාවට උචිත ලෙස සිය චලනයන් හා හැඟීම් මුහුණෙන් මතු කරයි. කොටින්ම ‘‘ඇල්බොරාදා’’ චිත‍්‍රපටයේ සියලූම රංගන ශිල්පීන්, ශිල්පිනියන් චිත‍්‍රපට රංගනය මේ යැයි අපට පෙන්වා දෙමින් අපූර්ව රංගනයන්හි යෙදේ. අධ්‍යක්ෂවරයා ඔවුන් නිසි තැන පිහිටුවූ බව පැහැදිලිය.

පෙර සඳහන් නළු නිළියන්ට අමතරව, රිතිකා කොඩිතුවක්කු, ඩොමිනික් කෙලර්, නිමායා හැරිස් හා තුසිත ලක්නාත් එකිනෙකා පරයා යන අන්දමේ ප‍්‍රදර්ශනාත්මක රංගනයන්හි යෙදේ. හඳගම තම චිත‍්‍රපටයේ සමහර සිදුවීම් කිසියම් ආකාරයකින් අතිශයෝක්තියකින් යුතුව වර්ණනා කරන අවස්ථා ද දක්නට ලැබේ. එය ඒ ඒ සිදුවීම් වඩාත් පේ‍්‍රක්ෂක මනසට හේතුභූත වී ඇති බව මගේ පිළිගැනීමයි.

විශේෂයෙන් සක්කිලි තරුණියගේ චරිතය ගොඩනැඟීමේදී ඇගේ ගමන් විලාසය, පා සළඹ තැබීම හා වැසිකිළිය පිරිසිදු කිරීමේ හඬ මගින් නෙරූදා ඇය හා මනසින් එක්වීමට අවශ්‍ය අනුපාන සපයයි. ජොසී හැඩගන්වන්නේ ද අතිශයෝක්තියෙන් යුතුවය. බුරුම ………. ලෙස නෙරූදා භීතිකාවට පත්වන ජොසී තම පේ‍්‍රමය වෙනුවෙන් මරාගෙන මැරෙන විනාශකාරී චරිතයක් බවට පැබ්ලෝ නෙරූදාම සඳහන් කොට ඇත. හඳගම මේ භීතිකාව අපගේ සිත් තුළ ද අවුලූවන්නට සමත් වී ඇත්තේ සාහිත්‍යමය ප‍්‍රබන්ධයක ආකාරයටය.

ජොසී සැබැවින්ම ජීවත් වූ චරිතයක් ද නැත්නම් නෙරූදාගේ මනසේ මැවුණු චරිතයක් ද යන්න විවාද සම්පන්නය. නෙරූදාගේ රචනාවල ඇය පිළිබඳ කෙරෙන වර්ණනය ඊට ඌනපූරණ සපයයි බියපත් සක්කිලි කාන්තාවගේ චරිතය ද ඒ ආකාරයෙන්ම නිර්මිතයක් විය හැකි යැයි යමකුට තර්ක කළ හැකි වුව ද නෙරූදා වැනි ප‍්‍රකට චරිතයක් තමන් අතින් සිදු වූ වරදක් ගැන බොරු කතාවක් මවාපෑමට කිසිදු හේතුවක් නොපෙනේ. එනයින් බලන කල නෙරූදා සිය මතක අතර සඳහන් කළ සක්කිලි කාන්තාව සමග වූ සම්භෝගය නිතැතින්ම සිදු වන්නට ඇතැයි අපට පිළිගන්නට සිදුවේ. එහෙත් ඔහු ලියා තබා ඇති පරිදි මැණික් කටුවෙන් ග‍්‍රහණය කොටගෙන සහ කැඳවාගෙන පැමිණි විට ඇය නිරායාසයෙන් නිරුවත් වීම ප‍්‍රශ්නකාරීය. හඳගම මේ සම්භෝගය සිදුවූයේ බලහත්කාරයෙන්ය කියා නිර්වචනය කිරීමට පක්ෂ විම හෝ එය ඒ ආකාරයෙන්ම පිළිගැනීම අවශ්‍ය නොවේ. එහෙත් අප චිත‍්‍රපටය දෙස විචක්ෂණශීලීව බලන විට දැනෙන්නේ එවන් සිදුවීමක් සිදු නොවිය හැකිව තිබුණේ නැතැයි කියාය.

ඉතිහාසය පුරා වර්තමානය දක්වාම මෙන්ම අනාගතයේදී ද සමාජයේ විවිධ තරාතිරම්වල පුරුෂ බලවේග කාන්තාව ලිංගික අපයෝජනයට ලක්කරන අවස්ථා ඕනෑ තරම් වෙයි. එසේ පැවසීමෙන් මා උත්සාහ කරන්නේ කාන්තා අපයෝජනය හෝ බලහත්කාරය සාධාරණීකරණය කිරීමට නොවේ. එහෙත් පවතින යථාර්ථය එයයි. විශේෂයෙන්ම සුදු හම ඇති, බටහිර ආධිපත්‍යය ගැන බලාධිකාරී හැඟීමක් ඇති නෙරූදා වැන්නකු මෙන් තමන් ඉතා පහළ මට්ටමේ ලෙස සලකන සමාජ ස්තරයක, තමන්ගේ මළපහ බාල්දිය හිසේ තබාගෙන යන සක්කිලි කාන්තාවකට බලහත්කාරය දියත් කිරිම ගැන අප පුදුම විය යුතු නැත.

එහිදී එකී බලකාමියා කවියකු ද, රාජ්‍ය තාන්ති‍්‍රකයකු ද, සමාජවාදියකු ද, කොමියුනිස්ට්වාදියකු ද යන්න කිසිසේත්ම අදාළ නොවන්නේ එවන් බලහත්කාරකම් ඉතිහාසය පුරා අප අත්විඳ ඇති බැවිනි. එහෙයින් ලෝ සුපතළ කවියකු වූ පැබ්ලෝ නෙරූදා මෙලෙස හැසිරෙන්නට ඉඩක් නැතැයි කියමින් චිත‍්‍රපටයේ සිනමාත්මක ගුණය පසෙකට දමා පුහු සදාචාරය මත නිගමනවලට එළැඹෙන්නවුන් නැවත නැවතත් සමාජ යථාර්ථය සිහිපත් කරගනු වටී. අවසන් වශයෙන් කිව යුත්තේ අශෝක හඳගම නිර්මාණය කොට ඇත්තේ පැබ්ලෝ නෙරූදා ගැන වාර්තා චිත‍්‍රපටයක් හෝ ජීවන තොරතුරු අඩංගු (Biographical) චිත‍්‍රපටයක් නොවන බවය.

හඳගම කර ඇත්තේ නෙරූදා විසින්ම ලියා තැබූ සංක්ෂිප්ත සිද්ධියක් තම පරිකල්පන ශක්තිය මෙහෙයවා ප‍්‍රතිනිර්මාණය කිරීමය. අප කියැවිය යුත්තේ ද, නැරඹිය යුත්තේ ද හඳගමගේ ‘‘ඇල්බොරාදා’’ මිසක අපේ ඔළුගෙඩි තුළ ඉන්නා නෙරූදා ගැන වූ ‘‘ඇල්බොරෝදා’’ නොවන බව අවසන් වශයෙන් සනිටුහන් කරමි.

හෙන්රි වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment