ලාබාල දියණියන් දෙදෙනාගේ ගෙලට තොණ්ඩුවක් දමා එම ඡායාරූප නැන්දම්මාට යැවූ පියා රක්ෂිතභාරයට

470

එහෙම කළේ හැරගිය බිරිඳ යළි ගෙන්වා ගන්නලු

බාලවයස්කාර සිය දියණියන් දෙදෙනා පුටුවක් මත සිටුවා ගෙලට තොණ්ඩුවක් දමා නිවසෙහි බාල්කයේ ගැටගසා ජංගම දුරකථනයකින් ඡායාරූප ලබාගෙන එම ඡායාරූප වට්ස් ඇප් මගින් බිරිඳ ගේ මවට යවමින් දැරියන් දෙදෙනා කෲරත්වයට පත් කළ පියා ලබන 15 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය 06දා නියම කලාය.

වීරගුල, මංගලතිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
සැකකරු රාගම රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාට ඉදිරිපත් කර එම වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් මහර බන්ධනාගාර අධිකාරි වෙත නියම කෙරුණි.

සැකකරුගේ බිරිඳ දරු දෙදෙනා අතහැර දමා වෙනත් සැමියකු සමග ජීවත් වන බවට අධිකරණයේදී සඳහන් විය.

අවුරුදු 05 ක් සහ 10 ක් වයසැති දැරියන් දෙදෙනා කෲරත්වයට පත් කර තිබූ අයුරු තම නැන්දම්මා වෙත යවා තිබූ ඡායාරූපද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. සැකකරු බිරිඳනැවත නිවසට ගෙන්වා ගැනීම සඳහා මෙසේ දරුවන් කෲරත්වයට පත් කර තිබූ බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය. වීරගුල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සිසිර කුමාර ජයකොඩි, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති (පො.ප.) එන්.එස්. ආරියසිංහ යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment