ලාබෙට කාපු මසුයි, බිත්තරයි කන්නම බැරි වෙන විස්තරේ

884

මස්, බිත්තර මිල මීට වඩා ඉහළ යන්නෙ නෑ…

දිනක බිත්තර පරිභෝජනය ලක්‍ෂ 85යි, මසකට බොයිලර් කුකුළු මස් මෙටි‍්‍රක් ටොන් 20,000යි…

මගේ ජීවිතයට මේ වගේ සත්ත්ව ආහාර හිඟයක් නම් ඇවිත් නෑ…

ග‍්‍රාමීය කුකුළු ෆාම් 10%ක් විතර වැහිලා ගිහින්…

කුකුළු මසුත් ගිනි ගණන් ය. කිලෝව රුපියල් අටසීයට වැඩිය. යහගුණ සපිරි බිත්තරයත් රුපියල් තිහකි. සෑම භාණ්ඩයකම සහ සේවාවකම මිල වැඩි වී තිබෙන පසුබිමක කුකුළු මස්, බිත්තර මිල වැඩිවීම අරුමයක් නොවේ. අපට තියෙන ගැටලූව නම් මස්, බිත්තර මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම ගැනය.

එහෙත් මස්, බිත්තර මිල ඉහළ යෑම ගැන මස්කඩ හිමියන් සහ මස්, බිත්තර අලෙවිකරන වෙළෙඳසැල් හිමියන් සමඟ කතාබහකොට ඵලක් නැත. මේ වනකොට වෙළෙඳපොළ කළු කඩ ක‍්‍රමයෙන් ඔබ්බට ගොස් පාරිභෝගික ජනතාව සූරාගෙන කන ‘රීරිමාංශ කඩ බවට පත්වෙමින් තිබේ. එහෙයින් කුකුළු මස්, බිත්තරවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට බලපා ඇති කරුණු විමසා බැලීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතාට අපි කතා කළෙමු. මේ සරත් රත්නායක බිත්තර නිෂ්පාදනය ගැන කියන කතාවය.

‘‘මස්, බිත්තර මිල ඉහළ යෑමට ප‍්‍රධාන වශයෙන් බලපා තියෙන්නේ සත්ත්ව ආහාර හිඟතාවය සහ එම ආහාරවල මිල ඉහළ යෑම. අපේ ගොවියො බහුල වශයෙන් සතුන්ට ආහාර වශයෙන් ලබා දෙන්නේ රයිස් පොලිෂ්, හුණුසහල්, බඩඉරිඟු, පුන්නක්කු සහ සෝයා. රුපියල් 10 – 15 ට බිත්තර මිල තියෙනකොට මෙරට වෙළෙඳපොළේ රයිස් පොලිෂ් කිලෝ එකක් මිල වුණේ රුපියල් 45 – 48 යි. සෝයා කිලෝ එක රුපියල් 110 – 120 යි. හුණුසහල් කිලෝ එක රුපියල් 55 යි. පුන්නක්කු කිලෝ එක රුපියල් 35 යි. මේ වෙනකොට රයිස් පොලිෂ් කිලෝ එකක් රුපියල් අනූ හයයි. සෝයා කිලෝ එක රුපියල් 250 යි. හුණුසහල් කිලෝ එක රුපියල් 96 යි. පුන්නක්කු කිලෝ එක රුපියල් 65 යි. බඩඉරිඟු කිලෝ එකක් රුපියල් 96 යි. දේශීය සත්ත්ව ආහාරවල මිල 130% ක් සහ සමහර සත්ත්ව ආහාරවල මිල 200%ක් විතර මිල ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම අපේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් බඩඉරිඟු, සෝයා ඇතුළුව 75%ක් ආනයනය කරන්නේ පිටරටවලින්. ආනයනික අමුද්‍රව්‍ය 11 ක් තියෙනවා. මේ වනවිට ආනයනික අමුද්‍රව්‍යවල මිල 150% ත් ඊටත් වැඩි මිලකින් ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම සතුන්ට ලබාදෙන සියලූම විටමින් වර්ගවල මිල 150% ක් විතර ඉහළ ගිහින් තියෙනවා. මේ මිල වැඩිවීමට ප‍්‍රධාන වශයෙන් බලපා තියන්නේ ඩොලර් නැතිකම…’’

‘‘අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමත් සමඟ මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 20 ක්, 21 ක් අතර මුදලක් වැය වෙනවා. ඉදිරියටත් අපිට මේ කර්මාන්තය කරගෙන යන්න නම් බිත්තරයකින් රුපියල් 25ක් ලැබෙන්න ඕනෑ. ඒත් තවම බිත්තරයකින් අපිට ලැබෙන්නේ රුපියල් 23 යි ශත 50යි. වෙළෙඳපොළේ බිත්තරයක මිල රුපියල් 26යි. 28යි. මේ වෙනකොට රජය විසින් බඩඉරිඟු ආනයනය කරලා දීලා තිබීම අපිට ලොකු සහනයක්. ඒ වගේම මේ තත්ත්වයෙන් ඉහළට මස්, බිත්තර මිල වැඩි නොවන බව වගකීමෙන් යුක්තව පාරිභෝගික ජනතාවට මම කියනවා. බිත්තරය රුපියල් 50ට වැඩි වෙනවා. කුකුළු මස් කිලෝව රුපියල් 1000ට යනවා කියන්නේ අමූලික බොරු. ලංකාවේ බිත්තර වෙළෙඳපොළේ මිල තීරණය කරන්නේ අපි. අසරණ පාරිභෝගිකයන්ව සූරගෙන කාලා, මාධ්‍ය ඉදිරියේ බොරු බේගල් ඇද බලා බිත්තර වෙළෙඳපොළ නැති කරගන්න අපට අවශ්‍ය නෑ. ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා අමුද්‍රව්‍ය මිල අඩු කරගන්නවා හැරෙන්න මස්, බිත්තර මිල මීට වඩා ඉහළ දාන්න අපි කටයුතු කරන්නේ නෑ…’’ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති බිත්තර මිල වැඩි නොවීම සම්බන්ධයෙන් එසේ සහතිකයක් ලබා දෙනවිට එම කර්මාන්තයේ කඩා වැටීම ගැන තවත් කර්මාන්තකරුවෙක් මෙසේ අපට කරුණු ඉදිරිපත් කළේය. හෙට්ටිපොළ ප‍්‍රදේශයේ බිත්තර නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන ඔහු වසන්තය. මේ ඔහු කියන කතාවය.

‘‘දැන් මට වයස අවුරුදු පනස් තුනයි. මේ කර්මාන්තයට සම්බන්ධ වෙලත් විශාල කාලයක් වෙනවා. මගේ වෘත්තීය ජීවිතයට මෙවැනි සත්ත්ව ආහාර හිඟයක් නම් ඇවිත් නෑ. මේ වෙනකොට ග‍්‍රාමීය කුකුළු ෆාම් 10% ක් විතර වැහිලා ගිහින් තියෙනවා. සමහර ගොවියො දරාගන්න බැරි තරමට බැංකුවලට ණය වෙලා තියෙනවා. ණය ගෙවා ගන්න ඉඩකඩම් පවා උකස් කරන තරමට අපේ ගොවියො අසරණ වෙලා ඉන්නවා. මහා පරිමාණයෙන් කරගෙන යන ෆාම් විතරයි ක‍්‍රියාත්මක වෙන්නේ. ඒ ෆාම් දුවන්නෙත් පාඩුපිට. මගේ ෆාම් එකේ සේවකයො සීයක් විතර වැඩ කළා. බිස්නස් අඩුවීමත් එක්ක සේවකයො අඩු කරන්න වුණා. සත්ත්ව ආහාර හිඟකම නිසා ෆාම්වල ඉන්න සතුන් අඩු කරන්න වුණා. වේලකට සතුන්ට දෙන්න ඕන ආහාර ප‍්‍රමාණය අඩු වෙනකොට ලැබෙන බිත්තර ප‍්‍රමාණය අඩු වෙනවා. මේ වෙනකොට සමස්ත රටේ ම බිත්තර අස්වැන්න අඩු වෙලා තියෙනවා. ආහාර ලබාදීමේ ගැටලූව නිසා අලූත් සතුන් ලබාගන්න ගොවියො බයයි. ඒ නිසා කුකුළු කර්මාන්තය තියෙන්නේ විශාල අවධානමක. හෙට දවස ගැන අපිට ලොකු බයක් දැනෙනවා.’’ පෙළගැසෙන කතාවට මෙතෙක් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ෆාම්වල හිමිකරුවන් පමණි. දැන් කතා කරන්නේ මෙරට කුකුළු මස් නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන නෙල්නා ෆාම් සමාගමේ පශු වෛද්‍ය උපදේශක මංගල අමරසිංහ මහතාය.

‘‘ලංකාවේ බොයිලර් කර්මාන්තය ක‍්‍රම දෙකකට ක‍්‍රියාත්මක වෙනවා. එක ක‍්‍රමයක් ජීව බරට කුකුළන් විකිණීම. දෙවැනි ක‍්‍රමය කුකුළු මස් විදිහට වෙළෙඳපොළට නිකුත් කිරීම. ජීව බරට කුකුළන් විකිණීම සිද්ධ කෙරෙන්නේ 35% ක් 38% ක ප‍්‍රමාණයක්. 62% ක් විතර වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ කුකුළු මස් විදිහට. මේ ක‍්‍රම දෙකට ම ක‍්‍රියාත්මක බොයිලර් කර්මාන්තකරුවන් මේ වනවිට ප‍්‍රධාන ගැටලූ තුනකට මුහුණ පා සිටිනවා. එක කුකුළන්ට ආහාර ලබාදීම. දෙවැන්න ආහාර හිඟතාවය නිසා සතුන්ට වැළඳෙන රෝග වැඩිවීම. තෙවැන්න කම්කරු වියදම වැඩිවීම…’’

‘‘වැට් එක නැතිව දැන් කුකුළු කෑම කිලෝ පනහක මල්ලක් රුපියල් 7600ක් වෙනවා. සුළු, මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට වැට් එකත් කොස්ට් එකක් වෙලා. ඒ ව්‍යාපාරිකයන්ට කුකුළු කෑම මල්ලක් 8200ක් වෙනවා. ඒ අනුව කුකුළු කෑම කිලෝ එකක් රුපියල් 164ක් වෙනවා. දවස් තිහකට වැඩි සෑම කුකුළන් හයදෙනකුට කෑම කිලෝ එකක් දෙන්න ඕනෑ. එක සතෙකුට කෑම ග‍්‍රෑම් 150ක් දවසකට දෙන්න ඕනෑ. ඒ වගේම එක සතෙකුට ආහාර වෙනුවෙන් දවසකට ආසන්න වශයෙන් රුපියල් 25ක මුදලක් වියදම් වෙනවා. වැට් එක නැති බොයිලර් කර්මාන්තශාලාවල දවසකට සතෙකුගේ ආහාර වෙනුවෙන් රුපියල් 23ට ආසන්න මුදලක් වියදම් කරනවා. දවස් තිස්අටක් වෙනකොට කුකුළෙකුට කෑම කිලෝ 3යි, දශම පහක් කවන්න ඕනෑ…’’

‘‘අපි මේ කතා කරන මොහොත වෙනකොටත් මේ රට පුරා කුකුළු ෆාම්වල සහ අභිජනන ගොවිපළවල ජීවත්වන කුකුළන් සහ කිකිළියන් සංඛ්‍යාව මිලියන 32 ක්. බිත්තර ලබාදෙන කිකිළියන් පමණක් කෝටි තුනහමාරක් ජීවත් වෙනවා. ඒ සතුන්ගේ ආහාර සඳහා වසරකට අවම බඩඉරිඟු පමණක් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හතරක් අවශ්‍ය වෙනවා. ආසන්න වශයෙන් බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් තිස්තුන්දහසක් මාසයකට අවශ්‍ය වෙනවා. කිලෝ දෙකක කුකුළෙක් නිෂ්පාදනය කරන්න වැයවන මුදලින් 70%ක් වියදම් වෙන්නේ කෑම සඳහා. බඩඉරිඟු සහ අනෙකුත් සත්ත්ව ආහාර නැති වෙලා නිසි වෙලාවට සතුන්ට කෑම දෙන්න බැරි වුණොත් පෝෂණය අඩුවීමත් එක්ක ප‍්‍රතිශක්තිය අඩු වෙලා කුකුළු ෆාම්වලට ලෙඩ රෝග බෝවීම වැඩි වෙනවා. සාමාන්‍යයෙන් මෙරට කුකුළු කර්මාන්තයේ සතුන්ගේ මරණ අනුපාතය 4% යි. සත්ත්ව ආහාර හිඟයත් සමඟ මේ වෙනකොට ෆාම්වල සත්ත්ව මරණ අනුපාතය 6%ක් බවට පත් වෙලා තියෙනවා…’’

‘‘ඒ වගේම කුකුළු පැටවකුගේ මිල රුපියල් 100ත් 125ත් අතර වෙනවා. කිලෝ දෙකක් බරැති කුකුළෙක් හැදීමට කම්කරු වියදම් ඇතුළුව අනෙකුත් වියදම් රුපියල් 60ක් එකතු වෙනවා. සේරම වියදම් එකතු වෙලා එනකොට කිලෝ දෙකක් බරැති කුකුළෙක්
හදාගන්න රුපියල් 750ක විතර වියදමක් යනවා. ඒ අනුව කුකුළු මස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න සෘජු වියදම රුපියල් 375ක්. ඒ වගේම සාමාන්‍යයෙන් පවතින ජීවන වියදමත් එක්ක කුකුළු ෆාම් එකක වැඩ කරන කෙනෙකුට කෑම, බීම නැතිව දවසකට රුපියල් 1500ක් ගෙවන්න ඕනෑ. නිෂ්පාදන වියදම වැඩිවීමත් එක්ක එවැනි වේතනයක් ලබාදෙන්න කර්මාන්තකරුවන්ට ගැටලූවක් වෙලා තියෙනවා. ඊට බාහිරව ප‍්‍රවාහන වියදම වැඩි වෙලා තියෙනවා…’’

‘‘ඒ වගේම පළමු දින දහයේදී පුංචි කුකුළු පැටවුන්ට රස්නය ලබා දෙන්න ඕනෑ. අවශ්‍ය රස්නය ලබාදීලා පළමු දින දහයේදී ග‍්‍රෑම් 300ක් බර එන්න කුකුළු පැටවු ලොකු කරගන්න බැරි වුණොත් හැදීම බාල වෙනවා. සාමාන්‍යයෙන් ෆාම්වල කුකුළු පැටවුන්ට රස්නය ලබාදෙන්නේ ගෑස්වලින් හෝ දරවලින්. පවතින ගෑස් ගැටලූවත් එක්ක දරත් ගණන්. ගෑසුත් ගණන්. මෙරට සත්ත්ව ආහාර නිෂ්පාදනයත් මහා පරිමාණයෙන් අඩු වෙලා. වැඩි මිලට ගන්නවත් සත්ත්ව ආහාර නෑ. පිටරටවලින් කරන ආනයනයටත් සීමා පනවලා තියෙනවා. ඩොලර් හිඟය නිසා නිසි වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වෙලා ගනුදෙනුකරුවන් අතර විශ්වාසය පළුදු වෙමින් තියෙනවා. කෙටි කාලයක් තුළ මේ ගැටලූවලට විසඳුම් නොලැබෙන්න මෙරට කුකුළු කර්මාන්තය දැඩි අවධානමකට වැටෙනවා. මෙරට පුරා තියෙන සුළු, මධ්‍ය, මහා පරිමාණ කුකුළු ෆාම් හයදහසම වැහිලා යන්න පුළුවන්. එවැනි තත්ත්වයක් උදා වුණොත් කුකුළු ෆාම් තුළ සේවය කරන සේවකයන් වගේම වක‍්‍රාකාරයෙන් කර්මාන්තයට සේවය සපයන ලක්‍ෂ දහයකට වැඩි පිරිසකගේ ආදායම් අහිමි වෙලා ගැටලූ රාශියකට මුහුණ දෙන්න වෙනවා…’’ පශු වෛද්‍ය මංගල අමරසිංහ මහතාගේ අනතුරු ඇඟවීම අතිශය බරපතළ ය.

ලෝකයේ කුකුළු මස්, බිත්තර මිල අඩුම රට බ‍්‍රසීලයයි. එරට බඩඉරිඟු කිලෝවක මිල රුපියල්වලින් විසිඅටකි. මෙරට බඩඉරිඟු කිලෝවක් මේ වනවිට රුපියල් අනූහයත්, එකසිය හතරක් අතර මිලක පවතී. කුකුළු ෆාම් හිමිකරුවන් කියන ආකාරයට පසුගිය කාලයේදීවත් සත්ත්ව ආහාරවලට ප‍්‍රමාණවත් බඩඉරිඟු නිෂ්පාදනයක් මෙරටින් ලැබී නැත. පොහොර ගැටලූවත් සමඟ මේ වනවිට මෙරට ගොවීන් බොහෝ පිරිසක් බඩඉරිඟු වගාවෙන් ඈත් වී සිටින බව ද වාර්තා වේ. එවැනි තත්ත්වයක් මත ඉදිරි කාලයේදී කුකුළු මස් සහ බිත්තර දිළිඳු ජනතාවට රස බැලීමටවත් ලැබේ ද යන්න අපට ඇත්තේ ගැටලූවකි.

එහෙත් අපේ රට මස්, බිත්තරවලින් ස්වයංපෝෂිත රටක් බව කෘෂිකර්ම ඇමැතිවරයා පසුගිය දිනක මාධ්‍යට පවසා තිබිණි. ඒ කතාව සැබෑවක් බව මස්, බිත්තර නිෂ්පාදකයෝ ද අප සමඟ පැවසූහ. වාර්තාවන ආකාරයට මෙරට මාසයකට බොයිලර් කුකුළු මස් මෙටි‍්‍රක් ටොන් විසිදහසකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ. මෙරට දිනක බිත්තර පරිභෝජනය ලක්‍ෂ අසූ පහකට ආසන්නය. වයඹ පළාතෙන් පමණක් දිනකට බිත්තර ලක්‍ෂ හැටක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන බව ද වාර්තා වේ.

ලාබෙට කාපු මසුයි, බිත්තරයි කන්නම බැරි වෙන විස්තරේ

එමෙන්ම මේ වනවිටත් රුපියල් 28ට 30ට වෙළෙඳපොළෙන් මිලදී ගතහැකි එකම පෝෂ්‍යදායී ආහාරය බිත්තරය පමණි. වෙළෙඳපොළේ විකිණෙන මස්වලින් රුපියල් හත් අටසීයකට කිලෝවක් මිලදී ගතහැකි වන්නේ කුකුළු මස් පමණි. ඌරු මස්, හරක් මස්, එළු මස් ඊට එහාට වෙළෙඳපොළේ අලෙවිවන මස්වල මිල ගණන් මතක් කිරීම මස් කෑම එපා කිරීමකි. ඒ මස් වර්ගවල මිල එතරම් ම ඉහළ ගොස් තිබේ. එවැනි පසුබිමක සත්ත්ව නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ යෑම මස් බිත්තරවලින් ස්වයංපෝෂිතව තිබුණු රටේ මිනිසුන් මන්දපෝෂණ රෝගීන් ලෙස වැළලෙන තත්ත්වයක් නිර්මාණය වීමක් බව පශු සම්පත් අමාත්‍යවරයාට මෙන්ම ඉහළ බලධාරීන් පෙර සිට දැනුවත් කර තැබීම අපගේ යුතුකමකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment