ලාබෙට තිබුණේ වතුර විතරයි! ඒකටත් සුපිරි බිලක් එයි?

374

තැලෙන යකඩය උඩපැන පැන තලනවා යයි” කියමනක් අප සමාජයේ ඇත. අද අපේ රටේ මිනිසුන්ටද අත්වී ඇත්තේද මේ ඉරණමය. රටේ ජනයා දැවැන්ත ජීවන අරගලයක යෙදී සිටිති. තෙල් මිල, ආහාර, ඖෂධ, ගෑස්, විදුලිය, දුරකථන ගාස්තු, ප්‍රවාහන යන මේ සියල්ලෙන්ම ආණ්ඩුව විසින් රටේ ජනතාව තළාපෙළා හෙම්බත් කර ඇත. කොටින්ම කියතොත් ජනතාවට ජීවත්වීමට පවා එපා කරන තත්ත්වයටම අද පත්ව ඇත. පසුගියදා රටේ ජනතාවට ලැබුණේ දැවැන්ත විදුලිබිල වැඩිවීමකි. එය 75% කටත් වඩා වැඩිවීමකි. අද අපි කතාකරන්නේද එවන් ඉදිරියේදී වැඩිවීමට නියමිත ජල ගාස්තුව ගැනයි.

ඇත්තෙන්ම මේ වැඩිවීම ජනතාවට දරාගත නොහැක. අද මිනිසුන්ගේ ප්‍රශ්නය වී ඇත්තේ එදාවේල හරි හම්බකරගන්නේ කෙසේද යන්නය. රජයේ සේවකයකුට හෝ පෞද්ගලික සේවකයකුටත් අද මාසික පඩියක් ගෙන ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. රටෙන් භායගකටත් වඩා කෑම අඩුකර ඇතැයි කිවහොත් එය වඩා නිවැරදිය. මෙවන් වාතාවරණයක රජය විසින් වැඩිකළ විදුලි ගාස්තුවට අමතර ජල ගාස්තුවත් වැඩිකිරීම කිසිසේත් සාධාරණය කළ නොහැක. මෙසේ ජල ගාස්තු වැඩිවන්නේ අවුරුදු 10 කට පසුවය. අවසන් වරට ජල බිල්පත් වැඩිකර ඇත්තේ 2012 වසරේදීය.

● මෙවර ගාස්තු වැඩිවීම

ජල ගාස්තුව සියයට 40-50 ත් අතර සාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ දැමෙනු ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. ඒ සඳහා වන ගැසට් නිවේදනය ළඟදීම නිකුත්කිරීමට බලාපොරොත්තු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන්කර ඇත. තවද ජල ලීටරයකට අයකිරීම 5-6 ගුණයකින් ඉහළ යන බවද ඒ සඳහා දැනටමත් අදාළ ගැසට් නිවේදන සකස් කර අවසන් වී ඇති බවත් මෙයට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවී ඇති බවද ප්‍රකාශකොට ඇත. දැනට ජල ලීටරයක් සඳහා අයකරන ශතයක පමණ මුදල ශත පහක් හෝ හයක් දක්වා ඉහළ යෑමක්ද මේ අනුව සිදුවෙනු ඇත.

● ලංකාවේ ජල සම්පාදනය හා ජලාපවහනය

1975 වර්ෂයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාර්ලිමේන්තු පනතකින් මණ්ඩලයක් බවට පත්කර ඇත. එම මණ්ඩලය මගින් මනු සවිකිරීම හා බිල්පත් නිකුත්කිරීම 1982 වසරේදී සිදුකරන ලදී. වර්තමානය වනවිට මෙම ජල සම්පාදන මණ්ඩලය හරහා ජලය පරිභෝජනය කරන පාරිභෝගිකයන් පිරිස ලක්‍ෂ සියය ඉක්මවයි. මෙම මණ්ඩලය මගින් සපයා ඇති ජල සම්බන්ධතා ගණන විසිලක්‍ෂ පනස් දහසකි. සමස්තයක් ලෙස ජල සම්පාදන මණ්ඩලය මගින් වසර තුනකට වරක් ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලබයි. අවසන් ජල ගාස්තු සංශෝධනය සිදුවූයේ 2012 සැප්තැම්බර් මස නිකුත් කළ අංක 177/13 අති විශේෂ ගැසට් පත්‍රයෙනි.

පසුගිය යහපාලන රජය පත්වී වසරක් අවසන් වනවිට එනම් 2016 නොවැම්බර් මස අයවැයට සමාන්තරව අංක 1991/3 අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජල බිල සංශෝධනය කිරීමට නිකුත් කරනු ලැබීය. පසුව ඊට එරෙහිව නැගුණු ජනතා විරෝධය නිසා එය නිෂ්ඵල විය. කෙසේ වෙතත් වර්ෂ කීපයක් තිස්සේ සංශෝධනය නොවූ ජල ගාස්තුව සංශෝධනයක් සිදුවිය යුතු බව විෂයභාර ඇමැතිවරයා මෙන්ම ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන්ද අවධාරණය කර ඇත.

● ජල සම්පාදනයෙන් රටට ආදායම

මාසිකව ජල බිල්පත් මගින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි දෙසීයක් පමණ ආදායමක් ලබයි. එම ආදායමෙන් වැඩි මුදලක් වැයවන්නේ මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ පඩිනඩි සඳහායි.

● හිටපු සභාපතිගේ ප්‍රකාශය

මේ පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති කේ. ඒ. අන්සාර් මහතා ජල ගාස්තු සංශෝධනය පිළිබඳ සිය අදහස් දක්වා තිබුණේ මෙසේය.

“පසුගිය කාලය පුරාවටම මෙම ජල ගාස්තුව සංශෝධනය විය යුතුයි කියන අදහස තිබුණා. නමුත් ක්‍රියාත්මක කරන්න බැරිවුණා. කොහොම නමුත් ජල ගාස්තු වැඩිවීමක් අවශ්‍යයි. මේ ජල ගාස්තු වැඩිකිරීමක් කියලා කියන්නේ වතුර බිලට නෙවෙයි. ගාස්තුවල සේවා වැඩිකිරීමක් තමයි මෙහෙම ගාස්තු සංශෝධනයක් වෙනවනම් වැඩිවෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ජලය පරිභෝජනය කරන 55% කට වගේ මේ වැඩිවීම බලපාන්නේ නැහැ. මේ ජල ගාස්තු සංශෝධනය කිරීමේදී මේක බලපාන්නේ 45% ක් වැනි පිරිසකට තමයි. වතුර අපතේ යැවීමක් සිදුනොකර හිටියොත් මෙම 45% පිරිසටත් පුළුවන් මේ මිල වැඩිවීමකින් තොරව ගාස්තුව පවත්වාගෙන යන්න. යුනිට් 15 ට අඩුවෙන් ජලය ගන්න 55% ක පමණ පිරිසක් ඉන්නවා. ඔවුන්ට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඇත්තටම කියනවනම් මේ විදිහට යුනිට් 15 ට වැඩියෙන් ජලය ගන්නේ යම් වාණිජමය කටයුතු සඳහා. ඒ අයට තමයි ඔය කියන ජල සංශෝධනයෙන් මිල වැඩිවීමක් වෙන්නේ.

● හිටපු ඇමැතිවරයාගේ ප්‍රකාශය

“සෑම වසර තුනකට වරක්ම ජල බිල වැඩිකළ යුතුයි. නමුත් පසුගිය වසර කිහිපය පුරාවටම මේ ජල ගාස්තුව සංශෝධනයක් වෙලා නැහැ. ඒ නිසා ළඟදීම ජල ගාස්තුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ජලය ඒකක 15 ට වඩා වැඩිවෙන් භාවිත කරන අයට මෙතෙක් අය කරනු ලැබුවේ මුල් ඒකක 15 කට සහන මිලක් සහ ඊට වැඩිවන ප්‍රමාණයට ඉහළ මිලක් හැටියට. නමුත් ඉදිරි මිල ගණන් සංශෝධනය යටතේ මුල් ඒකකයේ සිටම වැඩි මිලක් පරිභෝජනයට වැඩි අයට ගෙවන්න සිදුවෙනවා. ඒ වුණාට මේ දැනට පවතින මිල කිසිදු ආකාරයේ වෙනස්වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙරට සුළු පිරිසක් අසීමිත ලෙස ජලය පාවිච්චි කරන අතර විශාල ප්‍රමාණයක් ජලය සුළු වශයෙන් තමයි භාවිත කරන්නේ. දැනට වෙළෙඳපොළ තුළ පවතින පානීය ජලය බෝතල්වල ප්‍රමිතිය පිළිබඳ සොයා බැලීමටත් තීරණය කර තිබෙනවා.” හිටපු ඇමැතිවරයා එසේ කියද්දී පසුගිය 2021 වසරේදී එම ඇමැතිවරයාම ප්‍රකාශ කළේ එයට හාත්පසින්ම වෙනස් කතාවකි. ඒ ජල ගාස්තු කිසිසේත් වැඩි නොකරන බවකි.

● 2021 වසරේ ඇමැතිවරයා කළ ප්‍රකාශය

“ජල ගාස්තු වැඩිකරන්නේ නෑ. 2025 දී සැමට පානීය ජලය දෙනවා” මේ ප්‍රකාශය හිටපු ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේ 2021 සැප්තැම්බර් 08 වැනිදාය. ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ “2025 දී සැමට ජලය” මැයෙන් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී ඔහු පවසා ඇත්තේ රටෙහි ගැටලුවක් බවට පත්ව ඇති ජල හිඟය හා ජල සම්පාදනය දේශපාලන අවියක් කරගැනීමට ඉඩ නොතබා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි 2025 දී සැමට ජලය ලබාදීමට සැලසුම් දියත් කර ඇති බවකි.

● අඩුවෙන් පරිභෝජනය කරන්නන්ට
සහන මිලටම ජලය

ජලය ඝන මීටරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 48 ක පමණ වියදමක් ජල සම්පාදන මණ්ඩලය දරයි. ඒ සඳහා ජලය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගෙන් අය කරන්නේ රුපියල් දොළහක් පමණි. පසුගිය වසර හය තුළ ජල ගාස්තුව වැඩි නොවීම නිසා ඒකක 15 ඉක්මවා ජලය පරිහරණය කරන්නන් හට ජල ගාස්තුව වැඩිකිරීමට තීරණය කර ඇති බව එවක ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඒ දිනවල ප්‍රකාශ කර තිබිණි. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ජල ගාස්තු ඉහළ දැමීම රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු පොදු ස්ථාන හා රෝහල් ආදියට අදාළ නොවන බවත්ය.

● ජල සම්පාදන මණ්ඩලයටත්
කෝටි 750 ක පොල්ලක්

ලංකාව පුරා පිහිටි වාණිජ ආයතන, රාජ්‍ය ආයතන හා පාසල් සහ සාමාන්‍ය පාරිභෝගික ජනතාව ඇතුළු විශාල පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැරහැර ඇති බව එම මණ්ඩලය ප්‍රකාශ කොට ඇත. මෙසේ පැහැරහැර ඇති මුදල් ගෙවීම පසුගිය වසර කිහිපය තිස්සේ ලබාගත් ජලය සඳහා ගෙවිය යුතු මුදල් බව එම මණ්ඩලය වැඩිදුරටත් පවසා ඇත.

● වැඩිකරන ජල බිලෙන් ජනතාවට පීඩා

අද රටේ උද්ගත වී ඇති ආර්ථික තත්ත්වයත් සමඟ රජය විසින් රටේ ජනතාව මත අධික බදුබර පටවා ඇත. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට දැවැන්ත මරු පහරක් එල්ල වී ඇත. මේ වනවිට රටේ විදේශ විනිමය නොමැති වීමෙන් දේශීය කර්මාන්ත ශාලා වසා දැමීමෙන් රැකියා අහිමිවීමට ඇති ඉඩකඩ බොහෝය. දෛනික රැකියාවල යෙදී සිටින අයටද එවැනි රැකියා බොහෝමයක් අද අහිමිවී ඇත. පවුලක අත්‍යවශ්‍ය සේවා වන විදුලි හා ජල බිල්පත් ගෙවීම අනිවාර්යය වන අතර ඖෂධ සඳහාද වියදම් දැරිය යුතුය. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම්ද දැරිය යුතුය. එමෙන්ම ආහාර අවශ්‍යතාද හැකි පමණින් ලබාදිය යුතුය. අපේ රටේ විදුලිබල මණ්ඩලය, ඛනිජතෙල් සංස්ථාව, දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හැමදාම පාඩු ලබයි. මේ පාඩු ලබන ආයතන ලාභ කිරීමට යැයි කියා ආණ්ඩුව විසින් ජනතාව පිට බර පැටවීම නොහොබිනා ක්‍රියාවකි. ඇත්තෙන්ම රටේ මණ්ඩල හා සංස්ථා මෙතරම් පාඩු ලබන්නේ ඇයිද යන්න රජය විසින් සොයා බැලිය යුතුය. රජය විසින් කළ යුත්තේ ජනතාව පිට බර පැටවීමට නොව පාඩු ලබන සියලු ආයතනවලට ගෙවිය යුතු මෙතෙක් විවිධ පාර්ශ්ව විසින් පැහැරහැර ඇති මුදල් නැවත අයකර ගැනීමය. මැති ඇමැතිවරුන් අවුරුදු ගණනක තිස්සේ නොගෙවා පැහැරහැර ඇති ජල, විදුලි සඳහා වූ රටේ කෝටි ගණනක ධනස්කන්දය නැවත අයකර ගැනීමය. එමෙන්ම ඉහත සඳහන් කළ ආයතන තුළ සිදුවන දූෂණය, කොමිස්, ගසා කෑම් වහා නැවැත්විය යුතුය.

වසර ගණනක් මුළුල්ලේ සංශෝධනය නොවුනු ජල ගාස්තු සංශෝධනය කිරීමට මෙවර රජය මගින් ගෙන එන මිල සූත්‍රය කවර අයුරකින් යොදාගනීද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැත. එමෙන්ම මෙම වැඩිකිරීමට නියමිත ජල ගාස්තු ගැන අලුත් ආණ්ඩුවේ විෂය භාර ඇමැතිවරයා මේ දක්වා කිසිදු ප්‍රකාශයක්ද නිකුත්කර නැති බවක් පෙනේ. ලෝකයේ ජලය වෙනුවෙන් වෙන්කර ඇති ලෝක ජල දිනයද සමරා එදිනට විවිධ උත්සව අවස්ථා, දේශන පැවැත්වූවත් ඉදිරි කාලය තුළ වැඩි කිරීමට යන ජල මිල ගැන රටේ ජනතාව දැනුවත් කිරීමට තවමත් ආණ්ඩුව ක්‍රියාකර නැත. අද රටේ ජනතාවට මුදල් හිඟකම පිරිමසා ගත හැක්කේ වේලක් හෝ දෙකක් නිරාහාරව සිටීමෙන්ය. එසේ සිටින අපේ රටේ දුප්පත් අහිංසක මිනිසුන්ට වතුරත් නැතිවෙන කාලය වැඩි ඈතක නොවන බව ආණ්ඩුව දැන් පසක් කර ඇත.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment