ලැබෙන ඩීසල් මදි : පෞද්ගලික බස් වර්ජනයක්

76

මේ වනතෙක් ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන බව කියමින් පෞද්ගලික බස් හිමියන් විසින් ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

කිව්. ආර්. ක්‍රමයට ඩීසල් සතියකට ලීටර් 40ක් පමණක් හිමිවීම කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින්, ඊට විරෝධය පළ කිරීමට මෙම වර්ජනය සිදු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

ඒ අනුව බස් සංගම් කිහිපයකම බස් රථ අද (05දා) ධාවනයෙන් ඉවත් වන බව හෙතෙම කීය.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද කියා සිටියේ ඉන්ධන නොලැබීම මත තම සමිතියට ද ඊට විරෝධය පළ කිරිමට සිදුවන බවය. ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම නිසා දුර ගමන් සේවා බොහොමයක් අඩාළ බවත් වර්ජනයක් නොකළ ද වර්ජනයකදී මෙන් බස් රථ මේ වනවිට ධාවනයේ නිරත නොවන බව ද හෙතෙම කීය.

ඩීසල් නොලැබීම මත මේ දිනවල පෞද්ගලික බස් රථ බොහොමයක් නිවෙස්වල ඇති බැවින් සමස්ත කර්මාන්තයම කඩා වැටී ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කංචන විජේසේකර යන මහත්වරුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට හේතුවක් බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment