ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය හා ආත්ම ලාභය හමුවේ ස්ත්‍රීත්වයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම

304

කෝටි 720 ක් වන සමස්ත ලෝක ජනගහනයෙන් අඩක්ම කාන්තාවන් ය. පංච මහද්වීප තුළ ජීවත්වන මෙම කාන්තාවන්ගෙන් සමාජයීය – ආර්ථික – ආගමික හා දේශපාලනික වරප්‍රසාද අවම වශයෙන් භුක්ති විඳින්නේ අප්‍රිකා මහද්වීපයේ සහ ලංකාව සහ ඉන්දියාව ද ඇතුළත් ආසියා මහද්වීපයේ ජීවත්වන කාන්තා පරපුර විසිනි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, යුද්ධයේ භීෂණය, ලිංගික බලහත්කාරකම්, පුරුෂාධිපත්‍යය සහ සමාජ අවමානය වැනි දැවැන්ත පීඩනයන්ට කාන්තාවන් ගොදුරු වී ඇත.

කෝටි 2 ක් වන මෙරට සමස්ත ජන සංඛ්‍යාවෙන් අඩකටත් වඩා කාන්තාවන් ය. ඔවුන්ගෙන් ද අති බහුතරයක් ගෘහණියන් වශයෙන් ස්වාමිපුරුෂයා හා දරුවන් ඇතිදැඩි කරමින් නිවාසගතව ජීවත්වෙති. මෙය ලංකාව වැනි ආසියාතික පුරුෂාධිපත්‍ය රජකරවන සමාජයක දැකිය හැකි ශෝචනීය ස්වභාවයයි. දරුවන් බිහිකිරීමත්, ස්වාමියාට උයා – පිහා දීමත් හැර එම කාන්තාවන් තුළ පවතින ආරම්භක ශක්තීන් දැනුමින් ශිල්පීය හැකියාවෙන් රටක ආර්ථික සමාජයීය හා ආයතනික සංවර්ධනයට කොතරම් දායකත්වයක් ලබාගත හැකි ද?

යුරෝපීය රටවල් නම් අපේ රටවල අත්හැර දමා ඇති එම කාන්තා සම්පතින් උපරිම ප්‍රයෝජන නෙළා ගනිමින් සිටිති. රට පෙරට ගැනීමේදී පළමුව කාන්තාව ඉදිරියට ගත යුතුය.

ශ්‍රී ලංකාවේ ගම්මාන සංඛ්‍යාව හතළිස්පන් දහසකි. ඒ සෑම ගමකින්ම වෙළෙඳ කලාපයේ සහ විදේශ සේවයේ ශ්‍රමය විකුණන කාන්තාවන්ගේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇත. දුගී බව නිසාත්, ග්‍රාමීය පළාත්වල පොදු ලක්‍ෂණයක් වන පවුලේ සංඛ්‍යාව අධික වීමෙන් ඇතිවන පෙලඹවීම නිසාත්, දෙමාපියන්ගේ, දරුවන්ගේ, සහෝදර සහෝදරියන්ගේ හා ස්වාමිපුරුෂයාගේ නොසැලකීම නිසාත්, මෙම යෞවනියෝ තම තාරුණ්‍යය හැකියාව හා ශ්‍රමය දේශීය හා විදේශිය සල්ලිකාරයන්ට හා හාම්පුතුන්ට කැප කරන්නේ එය තමන්ට දැනට තිබෙන එකම ජීවන මාර්ගය නිසා ය. විශ්වවිද්‍යාල හා ඉහළ කළමනාකරණයේ පිරිමි, කාන්තා අනුපාතය 100:86 කි. කාන්තා ‘බලාත්මකත්වය’ අතින් ලෝකයේ 16 වැනි ස්ථානය ලංකාව සතු වන විට ඇමරිකාව එහි 56 වැනි ස්ථානය දක්වා පහළ බැස ඇත.

චිත්තවේග දරා ගැනීමේ ශක්තිය අතින් කාන්තාව ප්‍රශස්ත මට්ටමක සිටියි. පුරුෂයා, ප්‍රශ්න හා ගැටලුවලට මුහුණදීමේ ආත්ම ශක්තිය හීන වූ විට, මධුවිතට සියදිවි නසාගැනීම්වලට හා ප්‍රචණ්ඩත්වයට යොමු වී ප්‍රශ්නවලින් පලා යද්දී, ගැහැනිය කදුළු සලන්නේ, ඉකිබිඳින්නේ ආත්ම ධෛර්යය ඇතිකර ගැනීමටය. තම ආත්මීය නොහැකියාව හා නොදැනුවත්කම වසා ගැනීමේ සහ පිරිමින්ගේ අනුකම්පාව ලබා ගැනීමේ ආවරණයක් ලෙස ‘ගැහැනු කිඹුල් කදුළු’ කාන්තාවන් විසින් භාවිතයට ගනු ලබයි.

පුරුෂාධිපත්‍යයට අභියෝග කරන කාන්තා ආධිපත්‍ය, පවුල් සංස්ථාව හා සමාජ දේහය තුළ පෝෂණය වන යුගයකට පිවිස ඇත. කාන්තාවන්ට පිරිමින්ගෙන්, සමාජයෙන් හා ආගම්වලින් එල්ල වන සාහසික පීඩනයන් මර්දනය කිරීමට කාන්තා චිත්ත අභ්‍යන්තරයේ නිද්‍රෝපගතව තිබූ අභිමානය හා කුසලතාව එමගින් අවදි වේ. උප විඥාණයේ නිදන්ගතව තිබූ නපුරු – ගුණමකු – නොදැමුණු ආවේගයන් ප්‍රාණවත් වීමක් ද සිදු වේ. මිනිස් දුව තුළ සැඟවී සිටි රාක්‍ෂණිය ආවේශ වන්නේ එවිටය. කාන්තාවන්ගේ ‘පෙනෙන ළැමට’ නොව ‘නොපෙනෙන ළයට’ ආත්මීය සෙනෙහස එන්නත් කරන පිරිමින් ඇත්තේ ද ස්වල්ප දෙනෙකි.

රාජ්‍ය සංස්ථාවල සේවය කරන ලක්‍ෂ 7 ක් වන කාන්තාවන් හැරුනු විට ඉතිරි ශ්‍රම බළකාය වෙළෙඳ කලාපයට, විදේශ සේවයට, තේ දලු නෙළීමට, වෙළෙඳ සහායිකා සේවයට, දුරකථන හුවමාරු ස්ථානවලට, සම්බාහන ආයතනවලට, ගණිකා මධ්‍යස්ථානවලට, ජනමාධ්‍ය ආයතන හා පරිගණක මධ්‍යස්ථානවලට අනුයුක්තව ඇත.

වර්තමාන ලංකාවේ උගත් තරුණියන් අතරින් වැඩිම ප්‍රතිශතය අයත් වන්නේ රැකියා විරහිත සංඛ්‍යාවට ය. කලාප යුවතියන් අතරින් පමණක් අ.පො.ස (සා/පෙළ) සහ (උ/පෙළ) සමත් අයගේ ප්‍රතිශතය 43% ක් බව සමීක්‍ෂණයකින් හෙළිදරව් වී ඇත. එහෙත් කිසිවකුත් අවබෝධ කර නොගත් සත්‍යයක් ඇත. එනම් මෙරට වාර්ෂික ජාතික ආදායමට කෝටි ගණනක් උපයා දෙන්නේ ලක්‍ෂ 10 ක් පමණ වන කලාප යුවතියන්ගේ ශ්‍රමදායකත්වයෙන් බවය. ලංකාව පුරා මහා, මධ්‍යම, හා සුළු පරිමාණයේ ඇඟලුම් කම්හල් 850 ක් පමණ පිහිටුවා ඇත. ලංකාවේ ක්‍රියාත්මක කර්මාන්ත අතරින් ප්‍රධාන තැන හිමිවන්නේ ද ඇඟලුම් කර්මාන්තයට ය. එසේම විදේශගත වහල් මෙහෙවරේ යෙදි ඉන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාව ද ලක්‍ෂ 15 ඉක්මවා ඇත. විදේශීය හාම්පුතුන්ගේ හිරිහැරවලට ලක්වෙමින් ජීවිතයෙන් වන්දි ගෙවමින් (විදේශ රටවලින් වාර්ෂිකව එවනු ලබන (මැදපෙරදිගින්) මළ සිරුරු සංඛ්‍යාව දළ වශයෙන් 400 ක් පමණි) විවිධ රෝගාබාධවලට ගොදුරුවෙමින් හා හිරගෙවල්වල රැඳෙමින් ඔවූහු තම තාරුණ්‍යය හා ශ්‍රමය විකුණමින් සිටිති, මෙම කාන්තාවන් දුක් විඳගෙන මේ රටට එවන මුදලින් රටේ විදේශ විනිමය වැඩිවන තරමටම සමහර කාන්තාවන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පරදාර සේවනය සහ බේබදුකමත් වර්ධනය වීම ද සිදු වේ. ඒ අතරේ ලක්‍ෂ 7 ක් වන වතු කම්කරු ප්‍රජාවගෙන් ලක්‍ෂ 3 ක් පමණ කාන්තාවෝ තේ දලු කැඩීමේ කාර්යයේ යෙදී සිටිති. ලැයින් නිවාසවල අඩුම සෞඛ්‍ය, ආහාර අපහසුව විඳදරා ගනිමින් සුළු දෛනික දීමනාවක් ලබා ගනිමින් මෙම තේ දලු නෙළන්නියෝ තේ දලු කර්මාන්තයේ නියැළී සිටිති. දේශපාලකයන්ගේ වැටුප (ඊනියා විප්ලවවාදීන් ද ඇතුළත්) සියයට තුන්සියයකින් වැඩිකර ගනිද්දී වතු කම්කරු දෛනික දීමනාව රු. 50 කින් වැඩිකර ගැනීමටත් අරගල කිරීමට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය වියදම දළ වශයෙන් කෝටි ලක්‍ෂයක් ඉක්මවා ඇත. රටේ ස්වභාවික සම්පත් විකිණීමෙන් ජනතාව පීඩනයට පත්කර අධික බදු (70%) අයකර ගැනීමෙන් හා දේශීය, විදේශීය ණය ලබා ගැනීමෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට වාර්ෂිකව එකතු කරන මුදලට සමාන ආදායමක් තම ශ්‍රමය, හැකියාව, දැනීම හා තාරුණ්‍යය කැප කරමින් වෙළෙඳ කලාප යුවතියන්, විදේශගත කාන්තාවන් හා තේ දලු නෙළන ලඳුන් විසින් රාජ්‍ය ආදායමට එකතු කර දෙනු ලබයි. එහි පංගු ප්‍රමාණය 2002 බැංකු වාර්තාව අනුව පහතින් සඳහන් වේ.

ඇඟලුම් – දශලක්‍ෂ 78190
තේ කර්මාන්තයෙන් – දශලක්‍ෂ 63105
විදේශ සේවය – දශලක්‍ෂ 123183

සංක්‍රමණික ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% කි. එය ආරක්‍ෂක (3%), අධ්‍යාපනය (2.5%), සෞඛ්‍ය (1%), හා රාජ්‍ය පරිපාලනය (1.5%) සඳහා වෙන්වන මුදලට සමානය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (2004) මානව සංවර්ධන වාර්තාව අනුව පුරුෂ – කාන්තා සමානාත්මතා වර්ධනයේ සාපේක්‍ෂතාවය 0.737% කි. එහෙත් කාන්තා ක්‍රියාකාරීත්වයේ වර්ධනය 0.274% කි.

සාපේක්‍ෂව කාන්තාවන්ගේ භාෂා දැනීම පිරිමින් අබිබවා ගොස් ඇත. පිරිමි භාෂා දැනීමේ වර්ධනය (දිස්ත්‍රික්ක 17 ක 1991 සමීක්‍ෂණයක් අනුව) 83.1% වන විට එය කාන්තාවන් සඳහා 90.2% දක්වා ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇත. ඒ අතර පසුගිය දශක දෙක තුළ දී කාන්තා විරැකියාව පිරිමින්ගේ මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. අවු. 20 – 30 අතර කාන්තාවන් කෙරෙහි මෙය ඉතාමත් අවාසිසහගත ලෙසට බලපා ඇත. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී හා සංවර්ධනයට දායක කර ගැනීමේදී කාන්තාවන් සතු ජීව විiාත්මක කාර්යභාරය හා සමාජ මෙහෙවර අඩු තක්සේරුවකට ලක්ව ඇත. නිදහස ලබාගත් දා සිට සාම්ප්‍රදායිකව ලංකාවට විදේශ විනිමය ලැබුණු ප්‍රධාන ආදායම් මාර්ග වූ තේ, රබර්, පොල් වලින් ලැබෙන විදේශ විනිමය මුදල ඉක්මවමින් ලංකාවේ කාන්තා ශ්‍රම දායකත්වය මත ලැබෙන මුදල සමස්ත රටේ ජනතාව නඩත්තු කරන්නේය. එහෙත් මෙම මුදලින් රටේ සංවර්ධනයට යෙදෙන්නේ 10% ක් බවට ද මතයක් ඇත. වංචා හා නාස්තිකාර රාජ්‍ය වියදම් සඳහා වැඩිම මුදලක් වැය කෙරේ. රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා අඩුම ප්‍රමාණය, රාජ්‍ය වියදමින් (4%) වෙන්කරන පළමු ආසියාතික රට ලංකාවය 4500 (පා. මන්ත්‍රී, ප්‍රා. ම නාගරික මන්ත්‍රී) වන මන්ත්‍රී නඩය (පළාත් සභා 7 ඇතුළුව) ඇතිදැඩි කිරීමට වැය කරන සමස්ත රාජ්‍ය වියදම කෝටි 10,000 කට ආසන්නය.

ශ්‍රී ලංකාවේ වසරක දරු උපත් සංඛ්‍යාව දළ වශයෙන් ලක්‍ෂ 2 ක් පමණ වේ. ඉදිරි දශකයේ දරුවන්ගෙන් වැඩිම වශයෙන් මව්වරුන් වන්නේ දැඩි මානසික, ශාරීරික හා සමාජයීය පීඩනයට පත්ව ඇති මෙම කාන්තාවන් ය. එම නිසා මොවුන්ට අවශ්‍ය ශාරීරික පෝෂණය, මානසික තෘප්තිය, ආරක්‍ෂාව සහ සේවා අවශ්‍යතා (නිසි වැටුප, ගමනාගමන පහසුව, නිවාස, සෞඛ්‍ය පහසුව, පවුල් සුභසාධනය, ක්‍රීඩා හා කලා පහසුව) ලබාදීම ජාතියේම යුතුකම වේ. එසේ නොවුනහොත් දැඩි ශාරීරික, මානසික, හා ආර්ථික දුෂ්පෝෂණයෙන් පෙළෙන, අනාගත මාතෘත්වය ලබන මෙම

තරුණියන්ගෙන් බිහිවන දරුවන් මන්දබුද්ධික හා ආබාධිතයන් වීමේ ප්‍රවණතාවය වැඩි වේ. මළ දරුවන් බිහිවීමේ අවදානමක් ද ප්‍රසූතියේදීම දරුවා මියයාම හා ප්‍රජනන හැකියාව අඩුවීමේ සම්භාවිතාවක් ද පවතී. එහෙත් ලෙඩට ඔරොත්තු දීමේ සහ මතක තබාගැනීමේ ශක්තීන් ස්වභාවයෙන් ම කාන්තාවන්ට වැඩිය.

ආර්ථික හා සමාජ සංවර්ධනයේදී කාන්තා ප්‍රගතිය අඩුය. තීරණ ගැනීමේදී පවා කාන්තාවට හිමි උරුමය, පවුල් සංස්ථාව හා නෛතික තලයේදී අවතක්සේරුවට ලක්වේ. එහෙත් රටට ආදායම් උපද්දාගෙන ශ්‍රම බළකායෙන් 65% ක් නියෝජනය වන්නේ කාන්තාවන්ගෙන් ය. හිස සිට දෙපතුල දක්වා නාරි දේහය වෙළෙඳ දැන්වීම් සඳහා යොදවා ගැනීමෙන් කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රමය – දැනීම හා ධනය, සමාජ ආර්ථිකගත කළ හැකි කාන්තා නියෝජනය 30% කි.

කාන්තාවන් ලිංගික වෙළෙඳ භාණ්ඩයක් බවට සලකා ධනවතුන් විසින් පවත්වාගෙන යන ගණිකා මඩම් සහ සම්බාහන මධ්‍යස්ථානවල නිමි භාණ්ඩ බවට පත්කර ඇත. මසකට වරක් ලංකාවේ තෝරාගත් ගැමි, නූගත් කාන්තාවන් වාසය කරන ප්‍රදේශවල මෙගා සංගීත සංදර්ශන පෞද්ගලික විiුත් ආයතන විසින් පැවැත්වීමේ අප්‍රකාශිත යටි අරමුණ එයයි. අනාගතයේ සල්ලාලයන්ට අවශ්‍ය නොඉඳුල් ගැමි ළඳුන් තෝරා ගැනීම තුළින් එම රාගික සංදර්ශන පිරිමින්ගේ පසිඳුරන් සංතර්පණය කරන වෙළෙඳ පොළක් බවට පත්ව ඇත. ගිහි සමාජයේ මෙන් පැවිදි සමාජයේ ද පුරුෂ ආධිපත්‍යයේ බලපෑමක් නිසාදෝ මෙහෙණි සසුන ලංකාවේ පිහිටුවීමට භික්‍ෂූන්ගෙන් අවසරය හා අනුබලය ලැබී නොමැත. එහෙත් බුද්ධෝත්පාද කාලයේ කාන්තාවට හිමි තැන ලබා දී තිබිණි. ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවන බව ගෞතම බුදුන් විසින් එදා ඛේමා – උප්පලවණ්ණා දෙනම ගෞතම බුදු සසුනේ අග්‍රශ්‍රාවිකා දෙනම බවට පත්කිරීමෙන් සනාථ වේ. ශ්‍රී මහා බෝධිය හා දන්ත ධාතුව ලංකාවට රැගෙන එන ලද්දේ ද කාන්තාවන් දෙදෙනකු විසිනි.

පරිපාලන, දේශපාලන හා තාක්‍ෂණික අංශයේ කාන්තා සහභාගිත්වය හා දායකත්වය ඉතාමත් අඩු ය. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 අතරින් කාන්තාවන් ඇත්තේ 12 ක් පමණි. බටහිර රටවල කාන්තාවන් ග්‍රහලෝක තරණය කරද්දී ආසියාතික රටවල කාන්තාවන් සමාජයට මුලුගැන්වේ.

ඉන්දියාවේ නම් කාන්තාවන් ලෙස ඉපදීමත්, අධ්‍යාපනය ලබාදීමත් නොසලකා හැර ඇත. එහෙත් දරුවන් බිහිකිරීමේ යන්ත්‍රයක් බවට පත් නොවී තම නිර්මාණාත්මක හැකියාවන් සමාජයට බද්ධ කිරීමට ලාංකීය කාන්තා පරපුර පෙරමුණ ගත යුතු යුගයකි එළැඹ ඇත්තේ. ස්වභාවයෙන් ම තීරණ ගැනීමේදී මෙන්ම දූෂණ – වංචා – අකටයුතුකම් අඩුවෙන් ම කෙරෙන මානසික ස්වභාවයක් කාන්තාවන් සතු ය. ගුරු වෘත්තියට හා සෞඛ්‍ය (හෙද – වෛද්‍යවරුන්) සේවයට වැඩි වශයෙන්ම කාන්තාවන් ඇදී යෑමේ ප්‍රවණතාවය සුබදායක ය. පුරුෂ පක්‍ෂයේ රෝග සුවවීමේ මානසික නැඹුරුව ද එයින් ඇති වේ. පරිපාලන නීති හා අධිකරණ කාර්යයට වැඩි කාන්තා ඉඩක් තිබුණා නම් මෙයට වඩා නීතිගරුක යහපත් සමාජයක් බිහිවිය හැකිය. ලේඛන හා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ කාන්තාවන්ට දිරිදීම පුරුෂයන්ගේ යුකුකමක් වුනත් පෞද්ගලික රූපවාහිනි හා ගුවන් විදුලි සේවයේ නියැළී ඉන්නා බාල බොළඳ පහත් රුචිකත්වයට මුල්තැන දෙන ගිරාපෝතක කාන්තාවන් එම සේවාවලින් ඉවත් කිරීමට මහජන මතයක් ඇතිවිය යුතුය.

පාර තොටේදී ලිංගික අඩන්තේට්ටම්වලටත්, නිවසේදී ස්වාමිපුරුෂයාගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයටත් ගොදුරුවන කාන්තාවන්ට පිළිසරණයක් ලබාදීම මව්ගුණ සුවඳ හඳුනන අයගේ යුතුකමකි. ගෘහස්ථ පීඩනයට පත් කාන්තාවන්ට රැකවරණයක්, සෙවණක්, සුරක්‍ෂිත තැනක් බුදු සමයේදී තිබුණි. එය නම් මෙහෙණි සසුනයි. එම යුගයේ තේරී ගාථාවලින් ද සන්නිවේදනය වූයේ පීඩනයට පත් කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් ය. හිරිමල් තරුණියක්, බිරිඳක්, ගෘහණියක්, මවක් සහ මිත්තණියක් වශයෙන් තම දරුවන්, ස්වාමිපුරුෂයන් හා මුනුබුරු මිනිබිරියන් සෙනෙහසින් රැකබලා ගන්නා කාන්තාවන් සතු මානසික, අධ්‍යාපනික, අධ්‍යාත්මික හා විශ්වජීව ශක්තීන් අවදි කර සමස්ත මානව පරපුරටම පුනර්ජීවයක් එන්නත් කළ යුතු යුගය උදා වී ඇත.

වසරකට වරක් එළැඹෙන කාන්තා දිනයේදී පමණක් කාන්තාවන් ගැන තෝරාගත් ස්ථානවල සම්මන්ත්‍රණ පැවැත්වීමෙන් පලක් නැත. ලංකාවේ පමණක් නොව ලෝකයේම දුක් විඳින්නේ කාන්තාවන් ය. දරුවන්ගේ යුකුකම් ඉටුකරදී එම දරුවන්ගේ ආදර සැලකිලි නොලබන්නේ ද වියපත් වූ අම්මාවරුන් ය. වැඩිහිටි නිවාස ඔවුන්ගේ අවසාන ජීවන නවාතැන්පළ වී ඇත. එමෙන්ම පරදාර සේවනයේ යෙදෙන, සූදුවට ඇබ්බැහි වී ඇති බේබදු සැමියන් නිසා නිවසටම වී දුක් විඳින මව්වරුන් ලක්‍ෂ ගණනක්, පවුලේ නම්බුව සහ ආත්ම ලැජ්ජාව නිසා එම ගෘහාස්ශ්‍රිත අනතුරු ඔවූහු ඉවසා සිටිති, දරුවන්ගේ අකීකරුකම් ප්‍රචණ්ඩත්වයට යෑම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා ද මව්වරු මානසිකව විඳවති.

උග්ගල්බඩ අමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment