ලිංගික අල්ලස් චෝදනා ලැබූ නිලධාරියා නිදැල්ලේ යැව්වේ ඇයි- ඕමාන් ඩුබායි මිනිස් ජාවාරම

590

කෝපා කමිටුවේදී ප්‍රශ්න කෙරේ

වැඩ තහනමකට ලක්ව සිටින ඕමාන තානාපති කාර්යාල නිලධාරියාට එරෙහිව පැමිණිලි මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඔහු ගැන තීරණයක් ගැනීම ප්‍රමාද වී ඇති බව පැවැති රජයේ ගිණුම් කාරක සභාවේදී (22 දා) අනාවරණය විය.

අතිරේක විගණකාධිපති පී.එල්.කේ. පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2022.02.28 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති බවයි. එසේම මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මුදල් වංචා, සහතික වංචා ආදිය වාර්තා වී තිබූ බවද අතිරේක විගණකාධිපතිවරයා පැවසීය.

මේ අනුව මෙම පුද්ගලයා තනතුරේ රැඳී සිටියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා මෙම වසරේ පෙබරවාරි මසදී අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර ඇති බව මෙහිදී අනාවරණය විය. මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලැබෙන තුරු පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය මීට අදාළ නිලධාරීන්ට පළ කර සිටියහ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේ 2022.02.28 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් සිදු කළ ද චෝදනා තහවුරු කිරීමට නොහැකි වූ බවයි. ඕමානයේ මෙරට තානාපතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සහ නොවැම්බර් මාසයේ 4 වැනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව මත කාර්යාංශය මගින් නිලධාරියාගේ වැඩ තහනමකට ලක් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පවසා සිටියේය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ තමා මෙම අමාත්‍යාංශයට පැමිණියේ මෙම වසරේ මැයි මාසයෙන් පසුව වුවද වගකීම භාර ගන්නා බවයි. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලේකම්වරයා වෙනස් වුවද නිලධාරීන් මෙහි වගකීම දැරිය යුතු බවයි.

හෙදියන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විදෙස් රැකියා සඳහා පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම නොව අදාළ අනෙකුත් සියලු අමාත්‍යාංශ සහ ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කර විදෙස් රැකියා සඳහා ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම බවයි.

මේ අනුව කමිටු සභාපතිවරයා කම්කරු හා විදෙස් රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් විදෙස් රැකියාවල පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා වැඩපිළිවෙළක් මාස 2ක් තුළ සකස් කරන ලෙසයි. එසේම මේ සඳහා කෝපා කමිටුවේ අනුකමිටුවක් ද පත් කරන බව කෝපා සභාපති කබීර් හෂීම් මහතා පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment