ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ඉල්ලා අස්වෙයි

240

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් පසුගිය සිකුරාදා (15 දා) ඉල්ලා අස්විය.

ජනාධිතිවරයා වෙත දීර්ඝ ලිපියක් යවමින් ඒ මහතා සිය ඉවත් වීම පිළිබඳව දැනුම් දී තිබේ.

2021 ජූලි 26 වැනිදා තමා භාරගනු ලැබුවේ දූෂණ අක්‍රමිකතාවලින් පිරුණු රාජ්‍ය මුල්‍ය විගණනයක් පවා නොතිබුණු රාජ්‍ය ආයතනයක් බවත් තමා පැමිණ මුලින්ම කරනු ලැබුවේ ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මුල්‍ය විගණනයෙන් ඉවත් කර තිබූ තත්ත්වය නැති කර යළි විගණකාධිපතිවරයාගේ විගණනයට යටත් ආයතනයක් බවට පත් කිරීම බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

එමෙන්ම තම පාලනයට පෙර පාලනාධිකාරිය විසින් පාරිභෝගිකයන් වංචනික ලෙස රවටමින් සංයුතිය වෙනස් කරමින් වෙළඳපොළට නිකුත් කර තිබූ ලීටර් 18 සිලින්ඩරය නැවත නිකුත් කිරීම අත්හිටුවීමට තමා පියවර ගත් බව ද සඳහන් කර ඇත.

අභ්‍යන්තර විගණනයන්ට මුහුණ දෙමින් මෙතෙක් දුරට හෝ මෙම තනතුරෙහි රැඳී සිටීමට තමා ක්‍රියා කළේ ගෑස් යනු අත්‍යවශ්‍ය සේවාවක් බැවින් සැපයුම් ජාලය කෙසේ හෝ පවත්වාගෙන යෑම හරහා මහජනතාව විඳින පීඩාව යම්තාක් දුරට හෝ සමනය කිරීමට යනුවෙන් යැයි ද ඒ මහතා සඳහන් කර ඇත. මේ ආකාරයෙන් කරුණු රැසක් ඇතුළත් කර ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලෙස කරුණු සඳහන් කරමින් ලිපියක් යවමින් තෙෂාර ජයසිංහ මහතා ඉල්ලා අස්වී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment