‘ලිමිට්’ පන්නලා රට හාල් අරන් – මහාචාර්ය බුද්ධි මාරඹේ

581

කාබනික පොහොර ප‍්‍රතිපත්තිය නිසා 2022 වසරේදී සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 08ක් 10ක් පමණ ප‍්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවන බව පුරෝකථනය කළත් මේ වන විට රජය එම ප‍්‍රමාණය ඉක්මවා පිටරටින් සහල් ලබා ගෙන ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ කෘෂි භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.

ඒ අනුව සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 03ක් මියන්මාරයෙන් ආනයනය කර ඇති බවත් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 10ක් ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

2008 වසරේ සිට රටට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා රටේ සහල් නිෂ්පාදනය කළ බවත් 2016/17 වර්ෂවලදී රටේ දැඩි නියං තත්ත්වයක් උදා වුණත් ආනයනය කළේ සහල් මෙටි‍්‍රක් ටොන් හත් ලක්ෂ පනස් දහසක් පමණක් බවත් ඒ මහතා පැවසීය.

රටේ වාර්ෂික සහල් පරිභෝජනය ටොන් ලක්ෂ 23ක් 24ක් පමණ බවත් වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය සහල් කිලෝ 107ත් 110ක් බවත් පැවසූ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කාබනික සහ රසායනික වී වගාවේ අස්වැන්න පිළිබඳව බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය වසර 11ක් (වගා කන්න 22ක්) සිදු කළ පර්යේෂණවලින් කාබනික වී වගාවේ අස්වැන්න සියයට 21.5 සිට සියයට 31ක් දක්වා අඩු වන බවට තහවුරු කර ඇති බව ද කීවේය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment