ලියාපදිංචිය නැති මූල්‍ය ආයතන 15000 ක්

191

මේ වනවිට ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන පහළොස් දහසකට අධික ප‍්‍රමාණයක් දිවයින පුරා තිබෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති තිසර ගුණසිංහ මහතා පැවසීය.

ලියාපදිංචි මූල්‍ය ආයතන තිබෙන්නේ හැටක් පමණ බවත් විශාල ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයක් ලියාපදිංචි නොවූ මුල්‍ය ආයතනවල ගොදුරක් බවට මේ වනවිට පත්ව තිබෙන බව ද සභාපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් පැවැසීය.

මේ වනවිට ලක්ෂ පනහකට අධික පිරිසක් ලීසිං සහ මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ ගනුදෙනුකරුවන් බවට පත්වී තිබෙන බවත් මෙම ආයතන පිළිබඳ කිසිදු නියාමනයක්, අධීක්‍ෂණයක් සහ විගණනයක් නොමැතිකමින් විශාල පිරිසක් එම ආයතනවල විවිධ වංචාවලට හසුවී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

මේ වනවිට බැංකු, ලීසින්, රක්‍ෂණ හා ක්‍ෂුද්‍ර මූල්‍ය ක්‍ෂේත‍්‍රයේ විවිධ ගැටලූ වලට ගනුදෙනු කරුවන් හසුවී තිබෙන බවත් ඇතැම් මූල්‍ය ආයතන ජාවාරම් සිදුකරන ආයතන බවට පත්වී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

දැනට තිබෙන නීති රීති අනුව යම් මූල්‍ය ආයතනයක් වරදක් සිදුකළහොත් ලක්ෂ දෙකහමාරක දඩයක් ගෙවා නිදහස්වීමට හැකි බවත් එවැනි මූල්‍ය ආයතනවල අධ්‍යක්‍ෂ මණ්ඩලයට කිසිදු මුදලක් නොගෙවා සමතයකට පත්වීමට නීතියෙන් හැකියාව ලැබී තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඔහු මෙසේද කීවේය.

ඒ වගේම ලීසිං වැනි ආයතනවලට වාසි ලැබෙන සේ තමයි කල්බදු පනත හදලා තියෙන්නේ. අධික ලාබ ලබන මෙවැනි ආයතන පිළිබඳව නිසි අධීක්‍ෂණයක් නිගමනයක් සිදුකොට ගනුදෙනුකරුවන්ට සාධාරණයක් වන ලෙස අවශ්‍ය නීති සම්පාදනය කරන්න කියා රජයෙන් ඉල්ලා සිිටිනවා.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment