ලියෝනි දිවි රඟමඬලින්  සමුගනී

357

ප්‍රවීණ වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය ඊයේ (19 දා) උදේ සිය දිවි රඟමඬලින් සමුගත්තාය.

මියයන විට 78 වැනි වියේ පසු වූ ලියෝනි අභාවප්‍රාප්ත ප්‍රවීණ කැමරා ශිල්පී තිස්ස කොතලාවල මහතාගේ දයාබර බිරිඳ වූවාය.

පිරිමි දරුවන් 5 දෙනකුගේ මෑණියන් වූ ඇය වසරක සිට අසනීප තත්ත්වයෙන් පසුවූවාය.

1962 වසරේදී ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී. ඩී. එල්. පෙරේරා නිර්මාණය කළ ‘සාමා’ වේදිකා නාට්‍යයට සිය රංගන දායකත්වය සපයමින් කලා ක්‍ෂේත්‍රයට පිවිසියාය.

ඉන් අනතුරුව 1964 දී ‘චංඩාලි’ චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසි ලියෝනි ‘පිපෙන කුමුදු’ (1967), ‘රජ දරුවෝ’ (1992), ‘පුනරුත්පත්තිය’ (1997) ‘සුළං කිරිල්ලී’ (2003), ‘එකමත් එක රටක’ (2009), ‘බොරදිය පොකුණ’ (2015), ‘බන්ධනය (2017), ‘දැවෙන විහඟුන්’ (2018) ඇතුළු චිත්‍රපට රැසකටම සිය රංගන දායකත්වය සැපයුවාය.

එමෙන්ම ‘තරාදේවි’, කුමාරිහාමි, චාරුලතා, අරවින්ද සහ ඉන්දු, සෝමාගේ සිහිනය, හිරුට මුවාවෙන්, නෑදෑයෝ වැනි විශිෂ්ට ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ලියෝනි රෝමියෝ ජුලියට්, පොකුරු වැස්ස, මෝහිනී යන වේදිකා නාට්‍යවල ද රඟපෑවාය.

ටී.වී. දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යය ලියෝනි කොතලාවල මහත්මිය රඟපෑ අවසන් ටෙලි නාට්‍යය වේ.

1988 දී සිය රංගන දායකත්වය සැපයූ ‘කුමාරිහාමි’ ටෙලි නාට්‍යයේ හොඳම නිළිය ලෙස ඕ.සී.අයි.සී. සම්මානය හිමිකර ගැනීමට ද ඇය සමත් වූවාය.

ප්‍රවීණ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන බදාදා (22 දා) සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment