ලිස්ටීරියා රෝගියෙක් බදුල්ලෙන් හමුවෙයි

190

ශ්‍රී පාද හැටන් මාර්ගයේ නල්ලතන්නිය සිට ගඟුලතැන්න දක්වා පිහිටි වෙළෙඳසල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබා ගැනීම මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් විසින් පසුගිය 17දා සිදු කරනු ලැබූහ.

රත්නපුර එරත්න ශ්‍රීපාද මාර්ගයේ ලිස්ටීරියා රෝගියකු බවට සැකකරන පුද්ගලයෙකු හමුවීමත් සමග රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වනු ලබන පරීක්‍ෂණයක් සඳහා නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ වෙළෙඳසල් සහ සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත ආහාර සාම්පල් ලබාගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්. බාස්කරන් මහතා පැවැසීය.

ලබා ගත් ආහාර ද්‍රව්‍ය සාම්පල් එදිනම රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පරීක්‍ෂණ කටයුතු සඳහා යොමු කළ බව ද, දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ වෙළෙඳ සල්වලින් සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන, පානීය ජලය ලබා දීම සම්බන්ධයෙන් තම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අධික්ෂණය කරන බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පැවසීය.

මෙම සාම්පල් ලබා ගැනීම අතරතුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු ආපනශාලා හිමියන් දැනුවත් කරමින් හොඳින් පිසූ ආහාර පමණක් පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙසත්, ශීතකරණ සහ අධි ශීතකරණ ක්‍රියා විරහිත කර තැබීමෙන් වළකින ලෙසත් කියා සිටියහ.

විදුලි බිල අධික ලෙස ඉහළයෑම නිසා ඇතැම් ආපනශාලා හිමියන් දිනකට පැය කිහිපයක් ශීතකරණ ක්‍රියාවිරහිත කිරීමෙන් ආහාරවලට මෙම බැක්ටීරියාව ඇතුළත් විය හැකි බවද එම නිසා මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් සිදුකරන බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩිදුරටත් සඳහන් කළහ.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආහාර පාන, පානීය ජලය ඇතුළු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පමණක් සේවයේ යෙදී සිටින බවත්, එම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට පමණක් එම කාර්යය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ අතර මේ රෝගියා හමුවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය වීමත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද කරුණා කිරීමට පැමිණෙන වන්දනාකරුවන්ගේ අඩුවක් ඇති බවත්, හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට සෞඛ්‍යයෙන් ඉහළ ගුණාත්මක ආහාර පාන ලබාදීමට පියවර ගෙන ඇති බවත් නල්ලතන්නිය සංචාරක හෝටල් හිමියෝ පවසති.

මේ අතර ලිස්ටීරියා මොනොසයිටොජීනස් (Listeria Monocytogenes) නමැති බැක්ටීරියාවෙන් හට ගන්නා මූලික රෝග ලක්ෂණ සහිත පහළොස් හැවිරිදි පිරිමි දරුවකු මොනරාගල මහ රෝහලෙන් බදුල්ල මහ රෝහලට එවීමෙන් පසු එහි දැඩි සත්කාර ඒකකයේ හුදකලා කොට ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඊයේ (19දා) පැවසීය.

මෙම රෝගියා සුවය ලබමින් සිටින බව පැවසූ හෙතෙම ලැබීමට නියමිත රසායනාගාර පර්යේෂණ වාර්තාව අනුව රෝග නිධානය නිශ්චිතව හඳුනාගත හැකි බවද පැවසීය. වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

කලකට පෙර මහජනයාගේ සෞඛ්‍යයට තර්ජනයක් වී තිබියදී මෙම රෝගය වළක්වා ගත්තා.

රෝග ඉතිහාසය සහ රෝග ලක්ෂණ අනුව ලිස්තීර්යා බැක්ටීරියාව ශරීරගත වී ඇත්දැයි සැකයක් තිබෙනවා. වෛද්‍ය පර්යේෂණ වාර්තාව ලැබුණු පසු නිසැක නිගමනයකට එන්න පුළුවන්. එතෙක් රෝගියා දැඩිසත්කාර ඒකකයේ හුදකලා කොට ආරක්ෂා කර සිටිනවා.

පස් සහ දිරායන ලී ආශ්‍රිතව ජීවත්වන ලිස්තීරියා බැක්ටීරියා විෂබීජ ආහාර මාර්ගය හරහා මිනිස් ශරීරයට ඇතුළුවී රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ මොළයට පවා ඇතුළු වීමට පුළුවන්.

උණ, වමනය, සිහිමඳ ස්වභාවය, සිහි නැතිවීම, වලිප්පුව මූලිකව ඇතිවිය හැකි අතර බැක්ටීරියාව මොළයට ඇතුළු වී ආසාදනය වීමෙන් මස්තිෂ්ක ප්‍රදාහය සහ මස්තිෂ්ක තරල ප්‍රදාහය ඇතිවීමට හැකි අතර ගැබිනි මවකගේ වැදෑමහ ඔස්සේ ගොස් දරු ගැබට හානි වීමට පුළුවන්.

පැස්ටරීකරණය කළ කිරි, සීත කළ කිරි, අලුතින් මුදවා ගත් කිරි, චීස් බටර් ආදි කිරි නිෂ්පාදන, මස්, සොසේජස් ආදී ආහාරයන්වලින් රෝගය පැතිරෙන්න හැකියාව තිබෙනවා. සෙල්සියස් අංශක හතරක තරම් අඩු උෂ්ණත්වයක නිරුපද්‍රිතව ජීවත්වීමට ඇති හැකියාව නිසා සීත කළ ජලයේ පවා මෙම බැක්ටීරියාව තිබීමට හැකියි.

මිත්තනිය ශ්‍රීපාද වන්දනාවේ ගොස් ගෙනවිත් තිබූ ආහාර ද්‍රව්‍ය කෑමෙන් පසු මෙම දරුවා රෝගී වූ බව ද පැවසේ.

නුවරඑලිය – නාලක රත්නායක, බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment