ලිස්ටීරියෝසිස් යනු වසංගත රෝගයක්ද?

116

මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති රෝගයක් වන්නේ ලිස්ටීරියෝසිස් නමැති බැක්ටීරියා රෝගයයි. මෙය ආහාර මගින් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතී.

පසුගියදා සිරිපා වන්දානවේ ගිය අයකු මෙම රෝගයට ගොදුරු වී මියයෑම නිසා සිරිපා වන්දනාවේ ගිය බොහෝ දෙනා තමන්ටද මෙම රෝගය වැළඳී ඇතැයි කියා බියකින් පසුව සිටිති.

ලිස්ටීරියෝසිස් (Listeriosis) බැක්ටීරියා කාණ්ඩයට අයත් මෙම බැක්ටීරියාව ලිස්ටීරියාමොනොසයිටොජෙනිස (Listeria monocytogenes) ලෙස හඳුනාගෙන ඇත.

පස්වල, ජලයෙහි සහ කුකුලන්, ඌරන්, හරකුන් වැනි සතුන්ගේ ශරීරවලත් කිරි ආහාර වර්ග වලත් මෙම බැක්ටීරියාව වර්ධනය වේ.

එසේම මෙම බැක්ටීරියා ශීත පරිසරයේදී වර්ධනය වේ. එබැවින් ශීතකරණවල තබා ඇති මස් වර්ග, කිරි. චීස්, බටර්, සකස් කළ මස් ආශ්‍රිත ආහාර, සලාද වර්ග, බිත්තර වැනි ආහාරවල ලීස්ටීරියෝසිස් බැක්ටීරියාව වර්ධනය වීමේ හැකියාව පවතී.

මෙවැනි ආහාර වර්ග නරක්වූ විට හෝ නරක්වීමේ මට්ටමට පත්වූවිට ඉතා පහසුවෙන් මෙම බැක්ටීරියාව වර්ධනය වීමට පටන් ගනී.

එබැවින් මෙවැනි ආහාර වර්ග ශීතකරණයේ ගබඩාකර ඇති විට ශීතකරණයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 40 කට වඩා (40F‍) ඉහළයාමට නොදී පවත්වා ගත යුතුය. එසේම අධිශීතකරණයේ උෂ්ණත්වයද ෆැරන්හයිට් අංශක බින්දුවේ (0F‍) පවත්වා ගැනීමට පියවරගත යුතුය.

විදුලිය පිරිමසා ගැනීම යැයි සිතා ඇතැම් දෙනා මෙවැනි ආහාර වර්ග ගබඩාකර ඇති ශීතකරණවල ක්‍රියාකාරිත්වය රාත්‍රි කාලයට නතර කර දමති. වර්තමානයේ විදුලිය ගාස්තු ඉහළ යාමත් සමග බොහෝ දෙනා මෙලෙස රාත්‍රී කාලයට තම ශීත කරණ ක්‍රියාවිරහිත කරන්නට හුරුව සිටිති.

මෙසේ ක්‍රියා විරහිතවීම නිසා ශීතකරණයේ පැවතිය යුතු උෂ්ණත්වය වෙනස්වේ. එවිට ඉතා පහසුවෙන් මෙම බැක්ටීරියාවට වර්ධනය විය හැකිය.

රෝගය වැළඳුවිට ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගයක් බැවින් යම් පුද්ගලයකුට ලිස්ටීරියෝසිස් බැක්ටීරියාව ශරීරගතවූ විට බඩේ අජීර්ණයක් ඇතිවේ. එනිසා උදරයේ වේදනාව, වමනය, ඔක්කාරය, උණ, හිසරදය, ඇඟපත මස් පිටුවේදනාව, බඩඑළිය යෑම වැනි රෝග ලක්‍ෂණ මතු වේ.

නිරෝගී පුද්ගලයෙකුට මෙම බැක්ටීරියාව ශරීරගතවූ විට බොහෝ විට මතුවන්නේ උදරයේ වේදනාව, බඩඑළිය යෑම, ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පමණි.

එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දින කිහිපයකින් රෝගය සුවපත් වේ.

නමුත් ගැබිනි මව්වරුන්, කුඩා දරුවන් වයස අවුරුදු 60 ඉක්මවූවන්, පිළිකා, වකුගඩු රෝග වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කිරීමට ලක්ව ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයින් වැනි අයට මෙම බැක්ටීරියාව ශරීරගත වූවිට රෝග ලක්ෂණ වැඩිවිය හැකිය. එසේම රෝග තත්ත්වය බරපතළ වීමට ඉඩ ඇත. එනිසා එවැනි අය වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. එසේ නොවුණහොත් රෝගය උත්සන්නවී මරණය පවා සිදුවිය හැකිය.

මෙවැනි රෝග වසංගත ලෙස පැතිරයාමක් සිදු නොවේ. නමුත් මෙවැනි නරක්වූ ආහාරයක් වැඩි පිරිසක් ආහාරයට ගැනීම නිසා ඉන් බහුතරයකට මෙම බැක්ටීරියා රෝගය මතුවිය හැකිය.

එබැවින් මස්වර්ග, කිරි වර්ග, කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කළ මෘදු චීස්, අයිස් ක්‍රීම්, යෝගට්, බටර් ආදිය ශීතකරණයේ ගබඩා කර තැබීමේදී නිසි උෂ්ණත්වයෙන් යුතුව පවත්වාගෙන යා යුතුය.

වෛද්‍ය තොරතුරු ඇසුරිනි.
උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment