ලීග් සහ පිළිමළුන් පිටු දැකීමේ රග්බි ද්විත්ව ශූරතා ඉසිපතනයට

141

ඊයේ (11) සවස කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී නිමාව දුටු අන්තර් පාසල් අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටු දැකීමේ රග්බි පාපන්දු තරඟාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සදහා පිරිනමන ලද ”ජනාධිපති අභියෝග කුසලානය” ට හිමිකම් කියන්නට කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙරට පාසල් පද්ධතියේ ප්‍රමුඛතම කණ්ඩායම් 12 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් නොනැවතුණු ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඊයේ (11) දිනයේ දී පිළිමළුන් පිටු දැකීමේ තරග මාලාවේ ශූරතාව තහවුරු කර ගැනීමට සමත්වීම ඒ අතරේ කැපී පෙනුණි.

එමෙන්ම, මෙවර ක්‍රියාත්මක වූ ප්‍රමුඛ පෙළ පාසල් රග්බී පාපන්දු තරග මාලාවේ 11 වැනි ජයග්‍රහණය අපරාජිතව සටන් කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත්වීම ද විශේෂත්වයක් ගත්තේය.

ලීග් තරගාවලියේදී මෙන්ම පිළිමළුන් පිටු දැකීමේ තරග මාලාවේ ද අනු ශූරතාවයෙන් සෑහීමට පත්වන්නට මෙවර මරදාන ශාන්ත ජෝශප් විදුහලට සිදු විය.

ඉසිපතන විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර ඊයේ ක්‍රියාත්මක කෙරුණු තීරණාත්මක අවසාන මහා තරගයේදී ලකුණු 49 – 22 ක ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් මෙවර ශූරතාව තහවුරු කර ගැනීමට ඉසිපතන විදුහල ට හැකියාව ලැබිණි.

ශාන්ත ජෝශප් විදුහලෙන් එල්ල වූ පීඩනකාරී ආක්‍රමණයට සංවිධානාත්මකව මුහුණ දෙමින් ලකුණු 27 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

ඒ අනුව මෙවර ද්විත්ව ශූරතා ඉසිපතන විදුහල ඉදිරියේ සටහන් විණි.

”ඩයලොග්” ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද මෙවර පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට ඉදිරිපත්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව 08 කි.

මහනුවර පාසල් අභිබවමින් මෙවර ලීග් ශූරතාව හා අනු ශූරතාව මෙන්ම පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියේ ශූරතාව හා අනු ශූරතාව ද අගනුවරට හිමි වීම 2022 වසරේදී විශේෂත්වයක් ගත්තේය.

ප්‍රිමියර් කුසලාන” ඩී.එස්.සේනානායක විදුහලට මේ අතර වාරයේ ක්‍රියාත්මක කෙරුණු ”ප්‍රිමියර් අභියෝග කුසලාන” තරගාවලියේ ශූරතාව අගනුවර ම රදවා ගැනීමට ඩී.එස්.සේනානායක විදුහල සමත් විය.

මරදාන සහිරා විදුහල ට එරෙහිව ලකුණු 41- 08 ක දැවැන්ත ජයග්‍රහණයක් සටහන් කර ගනිමින් ”ප්‍රිමියර් අභියෝග කුසලාන” ට හිමිකම් කියන්නට ඒ අනුව ඩී.එස්.සේනානායක ක්‍රීඩකයෝ ඉකුත් සිකුරාදා (09) සමත් වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment