ලීසිං බිල්ලට එරෙහිව  ප්‍රදේශවාසීහු විරෝධතාවක

210

ලීසිං සමාගමෙන් සිය වාහනය ගෙන යද්දී “වාහනය අරන් යන්න එපා, ගෙවන්න අතේ සල්ලි නෑ” කියා කෑගසමින් වාහනයට ගොඩවීමට උත්සාහ ගත් හිමිකරු එම රථයට යටවී මරණයට පත්වීමේ සිද්ධියක් මහනුවරින් වාර්තා වේ.

වාරික නොගෙවීම නිසා කල්බදු සමාගමක නියෝජිතයන් පිරිසක් විසින් ටිපර් රථයක් පැහැර ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ. හිමිකරු මරණයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය අදාළ කල්බදු සමාගමේ කළමනාකරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වත්තේගම පොලිස් බල ප්‍රදේශයේ පොල්ගොල්ල මීගම්මන වත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ජාලිය පරාක්‍රම (35) නමැති අවිවාහකයා පසුගිය 18දා අවාසනාවන්ත ලෙස මෙලෙස මරණයට පත්වීමේ සිද්ධියට එරෙහිව පොල්ගොල්ල මීගම්මනවත්ත ප්‍රදේශවාසීහු පිරිසක් ඊයේ (20දා) අදාළ කල්බදු සමාගම ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

තම නිවස අසල නවතා තිබූ ටිපර් රථය පැහැරගෙන යෑමට කල්බදු සමාගමේ සීසර්වරුන් උත්සහ කළ අවස්ථාවේ එය වැළැක්වීම සඳහා ව්‍යාපාරිකයා ටිපර් රථයේ එල්ලී ඇති අතර එය වේගයෙන් ඉදිරියට ධාවනය වෙද්දී රථයෙන් ඇද වැටී ටිපර් රථයටම යටවී මරණයට පත්ව තිබිණි. වාහනය පැහැර ගැනීමට පැමිණි පුද්ගලයන් සිද්ධියෙන් පසු සැඟවී සිටියදී ගලගෙදර ප්‍රදේශයේදී එක් අයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.

පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු පොලිසියට පැමිණ භාරවී තිබේ. ටිපර් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර සීසර්වරුන් පැමිණි තවත් වාහනයක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.බී. පලිහවඩන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගංසේකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත ජයසේකර මහතා ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment