ලීසිං මාරයන්ට එරෙහිව ජනතාව සංවිධානය විය යුත්තේ ඇයි?

695

ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය විසින් ලීසිං සමාගම් හයකට විරුද්ධව කොළඹ දිසා අධිකරණයේ නඩු හයක් ගොනුකර ඇත. මහ බැංකුව මගින් 2022 -7- 20 දින ඉදිරිපත් කරන ලද චක්‍රලේඛයක් මගින් වාහන අත්පත් කරගැනීම මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා දක්වා අත්හිටුවන ලදි. පෙරකී ලීසිං සමාගම් හයේ මැරවරයෝ 2000 අංක 56 දරන කල් බදු පනත උල්ලංඝනය කරමින් වාහන බලයෙන් පැහැර ගැනීමත්, ඒවායේ සිටි අයට මරණීය තුවාල සිදුකරමින් පහරදී තිබේ. පෙරකී නඩු හය කොළඹ දිසා අධිකරණයේදී ගොනුකර ඇත්තේ එවැනි සිද්ධීන් හයකට අදාළව ය. ශ්‍රී ලංකාවේ ලීසිං සමාගම් දණ්ඩ නීති සංග්‍රහයෙන් පාඩම් ලැබීමට කැමති නැත. මහජනතාවගෙන් ගුටි කා මහ පාරේ මිය යෑම ඔවුන්ගේ අභිමතය බව පෙනේ. ලීසිං දාමරිකයන් විසින් වාහන පැහැර ගැනීමට ගොස් ජනතා විරෝධයට ලක්වී බෙල්ල ගලවා ගැනීමට ඔන්න මෙන්නව සිටියදී පෙර වාසනාවක් නිසා පණ පිටින් පලා යන අයුරු පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මේ රටේ සිටින ඇතැම් ලීසිං සමාගම් වාහනයකට කල් බදු පහසුකම් ලබා දෙන්නේ එහි වාරිකය ඇරියස් වන පළමුවැනි අවස්ථාවේදීම උදුරාගෙන යෑමේ අපේක්ෂාවෙනි. ඇරියස් වූ මුදල සහ වාහනය පැහැර ගැනීමේ ගාස්තු හෙවත් සීසින් ගාස්තු ගෙවා වාහනය නිදහස් කරගෙන ගොස් ඉතිරි මුදල් ගෙවීම සඳහා පාරිභෝගිකයාට අවස්ථාවක් ලබා දීමට ඇතැම් ෆිනෑන්ස් සමාගම් කැමති නැත. එවිට ඔවුන් කරන්නේ ඉතිරි වාරික සියල්ලමත්, ඒවායේ සම්පූර්ණ පොලියත්, හිඟ වාරික සඳහා විශාල දඩ පොලියකුත්, සීසින් ගාස්තුවත්, සීස් කළ වාහනය සිය අංගනයේ තබා ගැනීම වෙනුවෙන් දෛනික කුලියකුත් යනාදී වශයෙන් වාහනයේ මුළු වටිනාකමෙන් දෙගුණයක පමණ බිලක් හදා එය ගෙවන්නේ නම් පමණක් වාහනය නිදහස් කිරීමය. වාහනය සීස් කිරීමේදී එය ධාවනය කරන මංකොල්ලකාර රියැදුරාට ද වෙනම ගාස්තුවක් ගෙවිය යුතුය. තමා මිලට ගත් වාහනය එමෙන් දෙගුණයක මිලක් ගෙවා නිදහස් කර ගැනීමට තරම් පිස්සුවක් කාටවත් නැත. ඒ නිසා සිවිල් බලයක් හෝ රාජ්‍ය බලයක් නැති අසරණ මිනිස්සු වාහනය අත්හැර දමා ෆිනෑන්ස් කොම්පැනියට හෙණ ඉල්ලමින් ගෙවල් බලා යති.

වාහනයක් පැහැර ගත් ගමන් සීසර්ලා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරති. එනම් අදාළ වාහනය ලීසිං සමාගමේ අංගනය වෙත කෙළින්ම ගෙනයන්නේ නැතිව එය මග නවත්වා වාහනයේ ඇති අලුත් ටයර් හතර මාරු කර කසිකබල් ටයර් හතරක් යෙදීම ය. ඊළඟට ඔවුහු වාහනයේ එංජිම හැර ගලවා ගැනීමට හැකි සෑම කොටසක්ම ගලවා ගනිති. මෙහිදී ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ වාහනයේ රේඩියෝ සෙට් එකට සහ සීඩී ප්ලේයර් එකටය. එසේම රිවර්ස් කැමරාවද, සයිඩ් කණ්ණාඩි ද ගලවාගනු ලැබේ. සමහරවිට ලක්ෂ කිහිපයක බඩු මෙතැන තිබේ. සීසර්ලා ලීසිං කොම්පැනියට වාහනය භාරදෙන්නේ ඒ ආකාරයෙන් වාහනය මස් කිරීමෙන් පසුවය. වාහනය නැවත බේරා ගැනීමට යන මිනිහා ෆිනෑන්ස් කොම්පැනියේ සියලු ගාස්තුවලට අමතරව ඉහත කී පාඩුවද දරාගත යුතුය. මේ නිසා ෆිනෑන්ස් කොම්පැනිවලට එරෙහිව වෙනමත් ලීසිං සමාගම්වලට එරෙහිව වෙනමත් ජනතාව සංවිධානය විය යුතුව තිබේ. ලීසිං සමාගම්වලින් අත්පත් කරගන්නා වාහන නැවත ලබා ගැනීමේදී සහන සලසන ඉන්ෂුවරන්ස් ක්‍රමයක් ඇතැම් රටවල භාවිතා කරනු ලැබේ. මේ ඉන්ෂුවරන්ස් ක්‍රමය මගින් වාහනය නැවත බේරා ගැනීම සඳහා අවශ්‍ය මුදලින් යම් ප්‍රමාණයක් ලැබෙන අතර වාහනයේ අයිතිකරු සෙසු මුදල යෙදිය යුතුය.

ශ්‍රී ලංකාව තුළ හොර ෆිනෑන්ස් කොම්පැනි ගණනාවක් තිබේ. ”Investments˜ යන වචනය සමග ඈඳන ලද නමක් යටතේ මෙකී ෆිනෑන්ස් හොර කොටු ක්‍රියාත්මක වේ. ඇතැම් ෆිනෑන්ස් කොම්පැනිවල ප්‍රධාන කාර්යාලය ඇත්තේ එහි අයිතිකාරයාගේ ගෙදර නිදන කාමරයේය. තවත් සමහර පල් හොරු Micro Financing හෙවත් ක්ෂුද්‍ර මූල්‍ය බැනරය යටතේ ෆිනෑන්ස් කොම්පැනි පවත්වාගෙන යති. මේ රටේ ජනයා කල්පනා කරනු ඇත්තේ මුදල් පනතේ හෝ කල්බදු පනතේ ඇති නීතිමය හිල්වලින් රිංගා මේ පල් හොරුන් මේ වංචා කරන බවය. එහෙත් ඇත්තම කතාව නම් ඔවුන් කරන්නේ මුදල් පනත සහ කල්බදු පනත අලුතින් සිදුරු කොට ඒවා ලොකු ගුල් බවට පත්කරගෙන එතුළින් රිංගා යමින් සාපරාධී ක්‍රියාවල නිරත වීමය. සීසර්ලාගේ පහරදීම් නිසා විශාල අනර්ථයන් සිදු වූ අවස්ථා තිබේ. පසුගියදාක ෆිනෑන්ස් කොම්පැනියක සීසර්ලා පිරිසක් වාහනයක් පැහැර ගැනීමට සූදානම් වූහ. මව, පියා සහ දරුවා යන තිදෙනා එම වාහනයේ සිටියහ. වාහනය භාරදීම පියා විසින් ප්‍රතික්ෂේප කරන ලද කල්හි සීසින් නායකයා හෙවත් නායක සීසර් අර කුඩා දරුවා පැහැරගෙන දෙමාපියන් ඉදිරියේ දරුවාගේ බෙල්ල ටික ටික මිරිකන්නට පටන් ගත්තේය. මෙය ඉතාම සාපරාධී තත්ත්වයකි. මේ රටේ ජනතාව එකතුවී ඉකුත් අරගල මානසිකත්වයෙන් 1% ක් හිතට ගෙන සීසර්ලාගේ අත පය හතර ගැලවීමේ ව්‍යාපාරයක නිරත විය යුතුය. මේ පුවත්පත මහජන කැළඹීම් ඇතිකිරීමට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පෙලඹවීමට හෝ කටයුතු කරනු ඇතැයි මෙහිදී කිසිවකු කීමට ඉඩ තිබේ. එහෙත් ආණ්ඩුව අපේ ප්‍රශ්න බලා නොගන්නේ නම් එම ප්‍රශ්න විසඳාගැනීම සඳහා ජනතාව කිසියම් මගකට අවතීර්ණ විය යුතුව තිබේ. එම මග ප්‍රචණ්ඩ වුවද කළ හැකි දෙයක් නැත. වැඩි ප්‍රමුඛත්වයක් දිය යුත්තේ ලීසිං කොල්ලකරුවන්ගේ භීෂණකාරී ප්‍රචණ්ඩත්වයට නොව සිවිල් ජනතාවගේ දෛනික අවශ්‍යතාවලට ය.

advertistmentadvertistment
advertistmentadvertistment