ලීසිං සහ මූල්‍ය ආයතන වාහන අත්පත් කරගැනීමේදී  පොලිසිය නැතිව කටයුතු බෑ

337

රත්නපුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ

ලීසිං සහ මූල්‍ය ආයතන විසින් වාහන අත්පත් කරගැනීමේදී පොලිසියට පැමිණිලි කර පොලිස් නිලධාරීන් සමග  නොගොස් බලහත්කාරයෙන් වාහන අත්පත්කර ගැනීමට පැමිණෙන පුද්ගලයින්ට එරෙහි අපරාධ නීතියට අනුව කටයුතුකර අධිකරණයේ නඩු පවරන බව රත්නපුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතා පැවැසීය. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේදී ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා මේ බව පැවැසීය. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ ලීසිං සමාගම්වලට අයුතු ලෙස හැසිරීමට ඉඩක් නැති බවයි. අදාල පනතට අනුව නීතිමය කටයුතු කිරීමට එම ආයතනවලට හැකියාව ඇතත් වාහන අත්පත් කරගෙන රැගෙන යෑමේදි පොලිස් නිලධාරීන් ඉදිරියේ එය සිදුවිය යුතු බවත් රත්නපුර පොලිස් කොට්ඨාසය තුළ බලහත්කාරයෙන් එවැනි වාහන අත්පත්කර ගැනීමකදී පැමිණිලි ලැබුණහොත් අපරාධ නීතිය අනුව කටයුතුකරන බවත් ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසීය. රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ මහතා මෙහිදී සඳහන් කළේ රටේ පවතින ආර්ථික අර්බූදය හමුවේ ලිසිං සහ මූල්‍ය ආයතනවලින් වාහන වාරික ක්‍රමයට වාහන මිලදී ගත් බොහෝ දෙනකු අසරණව සිටින බැවින් ඔවුන්ට සහන සලසන ලෙස මහා බැංකුව චක්‍ර ලේඛයක් නිකුත්කර ඇති බවයි. එහෙත් එය නොසලකා හරිමින් රත්නපුර දිස්ත්‍රික්කය තුළ අසරණ මිනිසුන්ගේ වාහන අයුතු බලය යොදා සමහර ලීසිං ආයතන විසින් රැගෙන යන බවත් මෙයට එරෙහිව නීතීය ක්‍රියාත්මක කර මේ දුෂ්කර අවස්ථාවේදී එම වාහන හිමියන්ට සහනයක් ලබාදෙන ලෙසත් පොලිසියෙන් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පැවැසීය. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කම්ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල එල්ලාවල මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මියගේ කැදවීමෙන් මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණ.

කහවත්ත – සමරවීර නිරෝෂණ
 

advertistmentadvertistment
advertistmentadvertistment