ලුණුපොකුණ ශුද්ධ වූ අන්ද්‍රේ මුනිඳුන්ගේ ශුද්ධ වූ ධාතුවක්

240

අප පදවි එඩේරාණන් වන අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ඉල්ලීම මත ශු. අන්ද්‍රේ අපෝස්තුලූතුමන්ගේ (පළමු පන්තියේ) ශුද්ධවූ ධාතුවක් ඉතාලියේ බ්‍රේශියා පදවියේ රදගුරු තැන්පත්, අති උතුම් පියේරේ අන්තෝනියෝ රදගුරුතුමන් විසින් පරිත්‍යාගකර ඇති අතර එම ශුද්ධ වූ ධාතුව සහිත කරඬුව පසුගිය ඉරුදින පොකුණ සාන්ත අන්ද්‍රේ දේවස්ථානය වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

සාන්ත අන්ද්‍රේ මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන නොවාන දිව්‍ය පූජාව පවත්වමින් උන්වහන්සේ පවසා සිටියේ අප සියල්ල ශුද්ධවූ අන්ද්‍රේ මුනිඳුන් මෙන් සත්‍ය විශ්වාසයෙන් කටයුතු කරමින් සාන්තුවරයන් බවට පත් වන්නට උත්සාහ කළ යුතු බවයි. අන්ද්‍රේ මුනිඳුන් ද අප මෙන් ඇට ලේ මස් නහරවලින් සැදුණු සාමාන්‍ය මිනිසෙක් බවත් එතුමාට දැඩි ලෙස අවශ්‍ය වූයේ පැමිණෙන්නට සිටින තැනැන් වහන්සේ කවුරුන්ද යන වග හඳුනා ගන්න. ඒ නිසා අන්ද්‍රේ මුනිඳුන් ජේසුස් වහන්සේ පසුපසිනස් ගමන්කර ඔබ ද මෙසියස් කියා උන්වහන්සේගෙන් අසයි. ජේසුස් වහන්සේ පවසන්නේ ඇවිත් බලන්න කියාය. ඉතින් අපත් එතුමා මෙන් ජේසුස් වහන්සේව සොයන්නට, හඳුනා ගන්නට උත්සාහ කළ යුතු බවත් එසේ උන්වහන්සේව හඳුනා ගත් පසු සාන්තුවරුන් වන්නට හැකි බවත් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසීය.

ලූණු පොකුණ මීසමේ හිටපු මීසම් සේවක ලලිත් තිසේරා පියතුමන් හා මීසම් ධර්මසේවා සභාව මීට වසරකට පෙර කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් ලෙස ලැබුණු මෙම ශුද්ධ වූ ධාතුව සාන්ත අන්ද්‍රේ දේවස්ථානය වෙත ලබා දීමට එම අවස්ථාවේදීම ඉතාලියේ අපෝස්තලික මාහිමි නෙවිල් ජෝ හිමිපාණන්හට දුරකථනයෙන් අමතා ‘‘මගේ මීසමට ශුද්ධවූ අන්ද්‍රේ මුනිඳුන්ගේ ශුද්ධවූ ධාතුවක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් මූලික අවධානය යොමු කර කටයුතු කරන ලෙසත්’’ පවසා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ශුද්ධවූ ධාතුව වසරක් වැනි කෙටි කාලයක් තුළ ලූණු පොකුණ මීසමට ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මීසම් සේවක සිල්වෙස්ටර් රණසිංහ පියතුමා සිය ස්තුතිය උන්වහන්සේ වෙත පළ කළේය. එමෙන්ම නෙවිල ජෝ මාහිමිපාණන්ට සහ බ්‍රෙසියාවේ රදගුරු පියරේ ඇන්තෝනියෝ හිමිපාණන්ට මුළු මීසම් සංඝය වෙනුවෙන් සිය ස්තුතිය පළ කරන ලදී.

ලූණු පොකුණ මීසම් සංඝයේ සැදැහැවත් ජනතාවගේ ගෞරව භුක්තිය හා හරසර මැද මහත් අභිමානයෙන් යුතුව වැඩම කළ ශුද්ධවූ ධාතුවෙන් සියල්ලන් ආශීර්වාදකර දේවස්ථානයේ තැන්පත් කරන ලදී. මෙම අවස්ථාවට පියවරුන්, සහෝදර තුමන්ලා, කන්‍යා සොයුරියන් ඇතුළු මීසම් ජනතාව එක්ව සිටියහ. උතුරු කොළඹ පොලිස් කොට්ඨාසය මගින් දේවස්ථානය වටා දැඩි ආරක්ෂාවක් යොදා තිබිණි.

සමන් පී‍්‍රයන්ත පෙරේරා
ලූණුපොකුණ මීසම

ලුණුපොකුණ ශුද්ධ වූ අන්ද්‍රේ මුනිඳුන්ගේ ශුද්ධ වූ ධාතුවක්
advertistmentadvertistment
advertistmentadvertistment