ලුණු ලේවායට අධිපති පිස්තෝල නගරාධිපති

1339

හම්බන්තොට ලුණු ලේවායේ මේ දවස්වල අවුලක් පවතී. දන්නා ඉතිහාසයේ සිටම මේ ලේවාය පල් හොරුන්ගේ ගුහාවකි. ලේවායේ බිස්නස් වැඩිහරියක් තිබුණේ වංචනික ගංකබරගොයින් අතය. මෙහිදී පල් හොරුන් යන වචනය පිළිබඳව පහත සඳහන් ආකාරයෙන් පාඨකයා දැනුවත් කරනු ලැබේ. මෙයට ශත වර්ෂ රැසකට පෙර ශ‍්‍රී ලංකාවේ වැඩ වසම් රාජ්‍ය පාලනය පැවති කාලයේදී පල්ලව නමැති ඉන්දියානු ජන වර්ගයට අයත් මනුෂ්‍යයන් පිරිසක් එවකට සිටි රජතුමාගේ අනුග‍්‍රහයෙන් ශ‍්‍රී ලංකාවේ රස්සාවල් කිරීමට පැමිණියහ. ඒ අනුව එකල මේ රට අද ඩුබායි මෙන් විදේශ රැකියා මධ්‍යස්ථානයකි. පල්ලවයන්ට පැවරුණේ බදු එකතු කිරීමය. පල්ලවයන්ගේ රාජකාරී කටයුතු දස අවුරුද්දක් පමණ කෙරීගෙන යද්දී ඔවුන්ට අනුග‍්‍රහය සැපයූ රජාගේ ආණ්ඩුව මාරු විය. අලුතින් පැමිණි රජු පල්ලවයන් රැකියාවලින් පහකර එම රාජකාරිය තමන් බලයට ගෙන ඒම සඳහා සල් පිල් ගිය ගොට්ටන් පිරිසකට පැවරූහ. මෙහිදී රැකියා අහිමි වීම නිසා මහ පාරට වැටුණු පල්ලවයෝ තැන තැන පැවති කැලෑ මණ්ඩිවල රැක සිට මිනිසුන් කොල්ල කා වේල ෂේප් කර ගත්හ. මෙකී හොර රැළ පල්ලව හොරුන් ලෙස හඳුන්වන ලදී. පසුව පල්ලව හොරු යන වචනය රීකන්ඩිෂන් වී පල් හොරු ලෙස වහරන්නට පටන් ගත්හ.
ඒ කතාව එතැනින් නිමයි.

අපේ කතාව මෙතැන් සිට; හම්බන්තොට ලුණු ලේවායේ බිස්නස් සියල්ල කරගෙන ගියෝ ඒ ඒ ආණ්ඩුවල දේශපාලනඥයන්ගේ පස්ස සේදූ කැචර්ලාය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැචර්ලා, පොදුජන එක්සත් පෙරමුණේ කැචර්ලා, යහපාලනේ කැචර්ලා යනාදීහු ඒ ඒ ආණ්ඩු සමයන්හි ලුණු බිස්නස් එක සියතට ගත්හ. හම්බන්තොට ලේවාය ආණ්ඩුවේ ලේවායකි. එසේ කියා එහි බිස්නස් ආණ්ඩුවේ සට්ටැඹියන්ට අයිති නැත. දැනට පවතින පොහොට්ටුව ආණ්ඩුවේ සිටින දේශපාලන වහලුන් කිහිප දෙනෙක් හම්බන්තොට ලේවායේ බිස්නස්වලට අත දැමීමට තැත් කිරීම නිසා පසුගියදා ලුණු ලේවා පරිශ‍්‍රය තුළ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ. 11 දා අලුයම හම්බන්තොට ලුණු ලේවායට අයත් වෑන් රථයක නැගුණු මැරයන් පිරිසක් විරෝධතා පරිශ‍්‍රය තුළට පැමිණ විරෝධතාකරුවන්ට ගුටි ඇන තිබේ.

මේ ගුටි ඇනිල්ල ලීඩ් කර ඇත්තේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු ය. ස්ත‍්‍රී දූෂණයක් සහ මිනී මැරීමක් නිසා හිරේට ගිය ප‍්‍රාදේශීය සභා සභාපතිවරයෙක් තංගල්ලේ සිටියේය. රාජපක්ෂ ආණ්ඩුවේ සුවිශාල සපෝටර් කෙනකු වූ හෙතෙම මෙරට ඉතිහාසයේ වඩාත්ම කුණු වූ ප‍්‍රාදේශීය සභා සභාපති ය. අප දන්නා පරිදි මේකා විශේෂ සමාවක් ලැබ එළියට නොපැමිණ ඇත්නම් අදටත් ඉන්නේ හිරේය. මේ නීචයා එළියට පැමිණ නිදැල්ලේ හැසිරෙනවාද යන්න සොයා බලන ලෙස අපි තංගල්ලේ ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලමු. එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු යනු පෙර කී ස්ත‍්‍රී දූෂක නිල මැස්සා බඳුවම නම නරක් කර ගත් ගන්ධබ්බයෙකි. 2015 ට පෙර රාජපක්ෂ පාලනයේ අවසන් කොටස එළඹ තිබූ අවස්ථාවේදී එවකට යූඑන්පියේ සිටි මන්ත‍්‍රීවරු පිරිසක් හම්බන්තොට රජයේ පරිශ‍්‍ර නැරඹීමේ අධීක්ෂණ සංචාරයක නිරත වූහ. මේ පිරිස හම්බන්තොට වරායට පැමිණ සිටින බවට ආරංචි ලද එරාජ් ප‍්‍රනාන්දු පිස්තෝලයක් වනමින් එකී පිරිස පසුපස දුවන්නට විය.

මේ රටේ දේශපාලනඥයන් වැඩිදෙනාගේ ජාතික ඇඳුම වූකලී කලිසම ය. ඔවුහු තම දේශපාලන ප‍්‍රතිරූපය මාර්කට් කර ගැනීම සඳහා ආර්ය සිංහල ඇඳුම හෙවත් රෙද්ද සහ ජාතික බැනියම අඳිති. මේ බැනියම ද නියම ආරිය සිංහල උඩ ඇඳුම නොව එහි පසුකාලීන මොඩිෆිකේෂන් එකකි. මේ මොඩිෆිකේෂන් එක හඳුන්වා දී ඇත්තේ 1977 දී බලයට පැමිණි යූඑන්පී ආණ්ඩුවය. එසේ වුවද එරාජ් ප‍්‍රනාන්දු පිස්තෝලය ලෙළවමින් පන්නන්නට පටන් ගත් විට එජාපයේ මන්ත‍්‍රී පිරිස ජාතික රෙද්ද කර තබාගෙන පණ බේරාගනු පිණිස දුවන්නට වූහ. දිවීම වැනි හදිසි කාර්යයන් සඳහා කලිසම කොතරම් පහසු දැයි ඒ වෙලාවේදී ඔවුන්ට මතක් වන්නට ඇති.

මිනිසුන්ගේ පුද්ගලික ගෙවල්වලට හැර රජයේ පරිශ‍්‍රවලට ඇතුළු වී අධීක්ෂණයක් කිරීමේ අයිතිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඇත. එහෙත් පුද්ගලික අංශයේ සිල්ලර කඩයකට හෝ පුද්ගලික අංශයේ හෝටලයකට හෝ ගේකට හෝ රිංගා අධීක්ෂණ කටයුතු කරන්නට ගියොත් එම මන්ත‍්‍රීවරුන්ට පොලුවලින් පහර දී පලවා හැරීමේ අයිතිය ජනතාවට තිබේ. ජනාධිපතිවරණයෙන් දිනුවා නම් රාත‍්‍රි කාලයේදී ගෙවල් පිටුපසට ගොස් ඒ ගෙවල්වල ජනයා කතා කරන ප‍්‍රශ්නවලට සවන් දී එම ප‍්‍රශ්න නිරාකරණය කර දීමේ පැලෑනක් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාසට ද ඒ කාලයේ තිබිණ. මෙය සද්භාවයෙන් ඇති වූ හැඟීමකි. එහෙත් වාසනාවකට ජනාධිපතිවරණ පරාජයත් සමගම සජිත්ගේ ජීවිතය බේරිණ. යම් විදිහකින් එතුමා ගෙයක් පිටුපස සිට හසු වූයේ නම් හොරෙක් ලෙස සැලකීම හේතුවෙන් ගුටි වදින්නේ බඹ ගණන් දිග පොලුවලිනි.

ඒ සඳහා නීතිමය ආවරණයක් ද ජනතාවට තිබේ. හම්බන්තොට වරායේ පරිශ‍්‍ර අධීක්ෂණය සඳහා එජාප මන්ත‍්‍රීවරුන් පිරිස එදා ගියේ තමන්ට ලැබී ඇති වරප‍්‍රසාද යටතේය. එවිට පිස්තෝලයක් ලෙළවමින් ඔවුන් පසුපස පන්නාගෙන ඒමට එරාජ් ප‍්‍රනාන්දුට කිසිදු අයිතියක් නැත. යම් විදිහකින් ඒ මොහොතේදී එජාප මන්ත‍්‍රීවරු තමන්ට ආණ්ඩුවෙන් දී ඇති ආරක්ෂක පිස්තෝල පරිහරණය කළේ නම් අද අපට ලියන්නට සිදුවන්නේ තවමත් උසාවියේ විභාග වෙමින් පවත්නා එරාජ් ප‍්‍රනාන්දු ඝාතන නඩුව පිළිබඳව ය. මේ කියන එරාජ් ප‍්‍රනාන්දු මීට මාස කිහිපයකට පෙර කොළඹ පිහිටි පෞද්ගලික පරිශ‍්‍රයකට කඩා පැන එම ඉඩම අල්ලා ගැනීමට යෑම හෝ එම ඉඩම භාරව සිටින අයට තර්ජනය කිරීම හෝ සිදු කරන්නට යෑම නිසා නැවත වතාවක් අපකීර්තියට ලක් වූවෙකි. ඔහු දින කීපයක්ම පොලිසිය ද මග හළේය. මේ ප‍්‍රනාන්දු වැනි ප‍්‍රනාන්දුලාට ආණ්ඩුවලට කෙළවීම ඉතාම පහසුය.

ස්වකීය දුර්ජන පීචං වැඩවලින් තමන් රෙදි හෝදන ආණ්ඩුව ජනතාව අතර හෑල්ලු කිරීමට මෙවැනි ප‍්‍රනාන්දුලාට පුළුවන. එරාජ් ප‍්‍රනාන්දු ලෑස්ති වෙන්නේ හම්බන්තොට ලුණු ලේවායේ ලුණු බිස්නස් එක සියතට ගැනීමට බව පෙනේ. ඊළඟ අවස්ථාවේදී ඔහු ලුණු ලේවා පරිශ‍්‍රයට රිංගූ විට දෙකේ දෙකේ පොලුවලින් පහර දී අත පය හතර මාරුකර හිස පශ්චාත්භාගයට සවිකර පොලිසියට භාරදීමට තරම් කොන්දක් ලුණු ලේවායේ සේවකයන්ට තිබිය යුතුය. මෙවැනි අයගේ හිස කොහොමටත් සවි වී ඇත්තේ ශරීරයේ පශ්චාත්භාගයේය. පාඨකයන්ට ඒ බව මතක් කරදෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment