ලූතර් කිංගේ සිහිනය සහ ප්‍රේමදාසයන්ගේ සිහිනය!

67

1963 අගෝස්තු 28 වොෂින්ටන් නගරයේ ලින්කන් ස්මාරකය අසලදී “මට සිහිනයක් තිබේ” මේ අපූරු කතාවක් සිදු කළා. එය ලෝකයෙන් මිලියන ගණනක් මිනිසුන් සිය දහස් වාරයක් සිහිපත් කළ කතාවක් බවට පත් වුණා.

“අපේ රටේ ජනතාව ශ්‍රේෂ්ඨ ජාතියක් වන්නට නම්” මෙය සත්‍යයක් විය යුතුය. ඒසේ නම්” නිව්හැම්ප්ෂයර්හි දැවැන්ත කඳු මුදුන්වලින් නිදහස නාද වේවා! නිව්යෝක්හි මහා කඳුවලින් නිදහස නාද වේවා පෙන්සිල්වේනියා උස් කඳු මතින් නිදහස නාද වේවා කොලරාඩෝවේ හිමෙන් වැසුණු රොකී කඳුමතින් නිදහස නාද වේවා කැලිෆෝනියාවේ තියුණු බෑවුම් අතරින් නිදහස නාද වේවා එපමණක් නොව” ජෝර්ජියාවේ ස්ටෝන් කන්දෙන් නිදහස නාද වේවා ටෙනසිහි ලුකවුට් කන්දෙන් නිදහස නාද වේවා මිසිසිපියේ සියලු කඳුමතින් නිදහස නාද වේවා සියලු කඳුකරවලින් නිදහස නාද වේවා.!”

ඔහුගේ සිහිනය මත තිබුණේ නිදහසයි. ඒ වෙනුවෙන් ඔහු අප්‍රමාණ කැප වුණා.

අපට මතක ඇති මෑත ලංකා ඉතිහාසයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨතම ලංකා පුත්‍රයන් කිහිප දෙනකු මට සිහිපත් වෙනවා. එයිනුත් ලංකාවේ දේශපාලන ශබ්ද කෝෂයට “දිළිඳුකම පිටු දැකීම” නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් කිරීම” වැනි ධනාත්මක පද හඳුන්වා දී” ඊටත් ක්‍රියාවෙන්ම පණදුන් ශ්‍රේෂ්ඨ තමා ලාංකේය පුත්‍රයා රණසිංහ ප්‍රේමදාසයන් බව මා අවිවාදයෙන් විශ්වාස කරනවා. මාටින් ලූතර් කිංට තිබුණු සිහිනය වගේම සිහිනයක් ආර්. ප්‍රේමදාසයන්ට තිබුණා.

අප සමාජයේ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබුණා දැක්මක් තිබුණා. නැති බැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීමේ ගමනේදී හමුවන තහංචි” බාධා” අභියෝග පරදවා ඉදිරියට යන්නට ඔහුට එඩිතරකම තිබුණා.

අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔහුගේ හෘද සාක්ෂිය තුළ තිබූ සත්‍ය සංවේදී බව “රස කවි සිතුවිලි” යන ඔහුගේම කවි පොතේ තැනක මෙහෙම සටහන්ව තිබුණා.

“මිනිසුන් තරම් මගෙ මේ මව් පොළොව මත
වටිනා වස්තුවක් වෙන මා දුටුවෙ නැත
එම වස්තුවම රැක ගන්නට යෙදවු සිත
රන් මිණි මුතුද ඔවුනගෙ දහදියෙහි ඇත”

“මට වෙඩි තියලා මරලා දාන්න. ඒත් මං පුංචි කාලෙ ඉඳන් ආරක්ෂා කරගෙන ආපු මගේ චරිතය ඝාතනය කරන්න එපා”

රණසිංහ ප්‍රේමදාසයන්ගේ ඒ වචන සදාකාලික නින්නාදයක් සේ යළි යළිත්” යළි යළිත් ඇසෙමින් තිබෙනව.

සමාජ ක්‍රමය විසම වූයේ කෙසේද..? සමාජ විෂමතාව දුරලිය හැක්කේ කෙසේද..? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්ද..? එම ක්‍රමවේදය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද..? සමාජ සමානාත්මතාව පිරි සමාජ ක්‍රමය කෙතරම් සුන්දරද..? මෙවැනි තර්ක ඔස්සේ ඔහු සමාජ ක්‍රමය පිළිබඳ නිශ්චිත වැටහීමක් ලබා ගත් ගතික නායකයෙක්.

මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ එන

පුතු සෙනේ මස් නහර හැම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිඳුළු මත
රඳා සිට දුක් දෙයි නිබන්දා

කවිය මේ මොහොතේ මට සිහිපත් වෙනවා. රණසිංහ ප්‍රේමදාසයන් තුළ ජනතාව කෙරෙහි පැවති ආදරය සහ සමාජය පිළිබඳව තිබූ විනිවිද පෙනෙනසුළු දැක්මද එතරම්ම ප්‍රබලව විනිවිද ගොස් තිබුණා.

මට නැවතත් සිහිපත් වන්නේ මාර්ටින් ලූතර් කිං.

“මම සිහින දකිනවා” අසාධාරණයේත්” මර්දනයේත් උණුසුමෙන් පීඩා විඳින මිසිසිපි ප්‍රාන්තය” නිදහසේත්” සාධාරණත්වයේත් ක්ෂේම භූමියක් වන දවස ගැන.

මම සිහින දකිනවා” අප සමාජයේ උස් තැන් පහත් කරන්නටත්” පහත් තැන් උස් කරන්නටත් පුළුවන් වන දිනය ගැන. මම සිහින දකිනවා” ජෝර්ජියාවේ වහලුන්ගේ දරුවන් සහ වහල් හිමියන්ගේ දරුවන් සහෝදරත්වයේ මේසය වටේ එක්ව හිඳගනිමින් සමානයන් ලෙසින් කථාබහ කරන දිනය ගැන. මම සිහින දකිනවා” මගේ පුංචි දරුවන් හතර දෙනා සම්බන්ධව” ඔවුන්ගේ හැසිරීම් මත තීන්දු ගන්නා වූ සමාජයක පැවැත්ම පවතින දිනය ගැන.”

රණසිංහ ප්‍රේමදාසයන්ගේ ගමන් පද පිරික්සා බලන විට මාටින් ලූතර් කිංගේ ප්‍රකාශයක් ඔහුට තරම් සමීප වන වෙනත් කිසිදු දේශපාලන නායකයෙක් ලංකා පොළොවේ ඇත්දැයි මට සිතෙන්නේ නැහැ.

සමාජ සේවය සහ දේශපාලන ගමන ආරම්භ කළ දා සිට රණසිංහ ප්‍රේමදාසයන් ඉලක්ක කරගෙන එල්ල වූ නින්දා” අපහාස” අවලාද මෙන්ම ඒ පිටුපස තිබූ මුදල් බලය” කුමන්ත්‍රණ මොනතරම්ද? එහෙත් ඒ සියල්ල මේ ශරීරයෙන් කුඩා මිනිසා ඉවසිල්ලෙන් යුතුව මුහුණ දෙමින් විඳ දරා ගත්තේ කෙසේද?. දෙගුණ දැල්වෙන විලක්කුවක් බඳු රටක් භාරගෙන පිටතින් මෙන්ම ඇතුළතින් ද සිටින සතුරන්ට පවා මුහුණ දෙමින්” මෙරට බිහිවූ නිර්ප්‍රභූ පළමු ජනාධිපතිවරයා වීම හේතුවෙන් ම ඔහුට එරෙහිව එල්ල වූ අප්‍රමාණ අභියෝගද මේ පුංචි මිනිසා දරා ගත්තේ කෙසේද?. ඔහු ජනාධිපති ධුරයට පත්වූ වහාම සිදු කළේ හදිසි නීතිය අවලංගු කර” සැකකරුවන් ලෙස සිටි ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් 1800 ක් පමණ නිදහස් කිරීමය. දෙකොන දැල්වෙන විලක්කුවක එක් කොනක් නිවීම සඳහා සාමයේ දෑත ඔහු දිගු කළ අයුරු තාමත් මට මතකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳීගොස් තිබූ සහ තුණ්ඩු කෑල්ලක් විසින් රට පාලනය කරමින් තිබූ යුගයක් වෙනස් කිරීම උදෙසා ඔහු සෑම ප්‍රශස්ත බෑමක් ම ගත් ආකාරය මධ්‍යස්ථ කිසිවෙකුට අමතක කරන්නට බැහැ. රණසිංහ ප්‍රේමදාසයන් ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළේ කෙසේද?

“ජීවිතවලට හානි කරන්න එපා. මම කැමතියි” ඔබලා සමග සාකච්ඡා කරන්න. ඒ සඳහා අවශ්‍ය නම් ඇස් බැඳගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්නට මම සූදානම්.”

මේ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ගේ බැගෑපත් ඉල්ලීමක් මෙන්ම හෘදයාංගම එකක් වුණා. නම්‍යශීලී විය යුතු තැන නම්‍යශීලී වීමත් ඍජු විය යුතු තැන සෘජු වීමත් එතුමන් තුළ මනාව පිහිටා තිබුණා.

පොල්අතු පැලක” මැටි නිවසක” ලෑලි ගෙදරක” මුඩුක්කු නිවසක වැස්සට නිසි ආවරණයක් අහිමිව” හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී වූ නායකයා ඔහු හැර අන් කවුරුන්දැයි අදත් මම කල්පනා කරනවා. පුංචි නවාතැනක ඉඩකඩ නොමැති වූ නිසා” මව්පියන්” දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට නිදාගන්නා වූ පවුල්වල දුක්බර ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමු කළ නායකයා ඔහු හැර අන් කවුරුන් දැයි මට අදත් සිතෙනවා. ඔහු සිය කෙටි ජීවිත ගමන තුළදී සියවස් ගණනක මෙහෙවරක් අපේ රටට සිදු කොට තිබෙනවා. සත්‍ය වශයෙන්ම ප්‍රේමදාස චින්තනයේ යටිපෙළ හරිහැටි කියවා ගැනීම මේ මොහොතේ අතිශයින්ම වැදගත් වෙනවා.

ජාත්‍යන්තරය සමඟ ගනුදෙනු කිරීමේ කලාව අතිශය ප්‍රශස්ත ලෙස ඔහුට පිහිටා තිබුණා.

“ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩපිළිවෙළ”” “සෙවන මා පිය කැපකරු ක්‍රමය”” “පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ”” “පාසල් නිල ඇඳුම්” වැඩපිළිවෙළ පමණක් නොව මාවතේ කිසිවක් කර කියා ගත නොහැකිව දුක් විඳින යාචකයන් වෙනුවෙන් පවා

“මාවතේ අපි” වැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට එතුමන් පුරෝගාමි වුණා.

“ජනපති ජංගම සේවා” තම අමාත්‍ය මණ්ඩලයම සහභාගි කරගෙන රට පුරා ගෙන ගියේ දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්” එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙනයාම පිණිස. මට රණසිංහ ප්‍රේමදාසයන්ව පෙනෙන්නේ කෙටි කලක් තුළ සිය වසක වැඩකළ ශ්‍රේෂ්ඨතම ජන නායකයෙකු විදිහට. එතුමන් ජීවත්ව සිටි අවධියට වඩා අද බොහෝ මිනිසුන් මෙසේ කියනු මට ඇසී තිබෙනවා.

“අනේ ප්‍රේමදාස මහත්තයා හිටියනම්”
ඒ කතාව තවත් සියවසක් ගියත් අසනවාට සැකයක් නැහැ!

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment