ලූෂන් යළිත් සිව්වැනි තැන දිනයි

316

ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කොලොම්බස්හි පැවති “ආර්නොල්ඩ් ක්ලැසික්” අන්තර්ජාතික කායවර්ධන තරගයේ දී 4වන ස්ථානය දිනා ගත්තේය. ලූෂන් පුෂ්පරාජ් ඔහියෝහි පැවති එම ශූරතාවලියේ දී ‘සුපර් හෙවිවේට්’ කාණ්ඩයෙන් තරග වැදී මෙම ජයග්‍රහණයට හිමිකම් කීවේය.

පුෂ්පරාජ්, “ආර්නෝල්ඩ් ක්ලැසික්” කායවර්ධන තරගය සඳහා සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන අතර ඔහු 2022 වසරේ දී ද මෙම තරගයට ඉදිරිපත්ව එහිදී සිවුවැනි ස්ථානය හිමි කර ගත්තේය.

2012 වසරේ සිට මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ දිනූ පුෂ්පරාජ් ආසියානු හා ගෝලීය මට්ටමේ තරගාවලි ගණනකින් ජයග්‍රහණ වාර්තා කළ ක්‍රීඩකයෙකි.ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල ලෝකයේ විශාලතම බහු-ක්‍රීඩා ඉසව්වලින් එකකි. එම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස දහසක්, සහ ක්‍රීඩා ලෝලීන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් කොලොම්බස් නගරයට එක් වෙති.

ලූෂන් යළිත් සිව්වැනි තැන දිනයි

මෙම ක්‍රීඩා උළෙල නම් කර ඇත්තේ මෙම ක්‍රීඩා උළෙලේ සම නිශ්පාදකයෙක් ලෙස කටයුතු කරන ජනප්‍රිය කාය වර්ධන ශිල්පියෙක් ලෙස ප්‍රකට වී පසුව හොලිවුඩ් තරුවක් බවට පත්ව අනතුරුව දේශපාලකයෙක් වූ ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් ගේ නමිනි. ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල බර ඉසිලීම, කායවර්ධන, ශක්තිමත්ම මිනිසා තේරීමේ තරග, සටන් කලා සහ ජිම්නාස්ටික් ඇතුළු යෝග්‍යතා ප්‍රවණතා ප්‍රදර්ශනය කරන තරග රැසකින් සමන්විතය.

2023 ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙල අද (05 වැනිදා) නිමාවට පත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment