ලෙඩ්ඩුන්ට ගෙවල්වලම මැරෙන්න වෙයි!

287

බෙහෙත් එන්නත් හිඟවෙයි

වෛද්‍යවරු රට හැර යයි

රෝහල් වැසෙයි

“රෝහල් කාර්ය මණ්ඩලය ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ රැඳී සිටින බැවින් ඉන්ධන ලබා ගැනීමෙන් පසු ඔවුන් ඔබට සේවය ලබාදීමට පැමිණෙන තෙක් ඔබ නිහතමානීව රෝහලේ රැඳී සිටින්න.”

මේ වචන ටික අපි දැක්කේ පහුගිය දවසක දඹුල්ල රෝහලේ කාර්ය මණ්ඩලය රෝහල් පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කරලා තිබුණ පුවරුවකින්. ගෑස්, ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට වගේම සෞඛ්‍ය සේවාවන් ලබා ගන්නත් දැන් මිනිස්සුන්ට පෝලිම්වල රස්තියාදු වෙන්න සිද්ධ වෙලා. ලංකාවේ හැම රෝහලකම මේ වෙද්දී දිගු පෝලිම් නිර්මාණය වෙන්න පටන් අරන්. ඒ වගේම අත්‍යවශ්‍ය සේවකයන් සඳහා ඉන්ධන නිකුත් කරන පෝලිම්වල රාජකාරි වෙලාවත් වැය කරමින් කාලය ගත කරන්න සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවකයන්ට සිදු වෙනවා.

ලබන 10 වෙනිදා වෙනකම් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා දීම පවා නතර කරන්න තීරණයක් ගන්න රජයට සිද්ධ වුණා. වචනයෙන් නොකිව්වත් මේ රට වැටිල තියෙන්නේ ගැඹුරු ආගාධයකට කියලා සනාථ කරන්න මීට වඩා සාක්ෂි අවශ්‍ය වෙන එකක් නැහැ.

ඖෂධ සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හිඟය නිසාත් ඉන්ධන ලබා ගත නොහැකි වීමත් සමඟ සෞඛ්‍ය සේවකයන්ට සේවා ස්ථාන වලට යෑමට නොහැකි වීම නිසාත් සමස්ත සෞඛ්‍ය පද්ධතියම අඩාල වෙන්න පටන් අරන්. මේ තත්ත්වය දිගටම තිබුණොත් තවත් මාස කිහිපයක් යද්දී මේ රටේ සෞඛ්‍ය පද්ධතිය විශාල ආගාධයකට ඇදගෙන වැටෙනවා කියලා වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් මේ වෙද්දිත් අනතුරු අඟවලා අවසන්. ඒ නිසා අත්‍යවශ්‍ය සේවාවන් සඳහාවත් ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා බොහෝ සෞඛ්‍ය සේවකයන් පහුගිය කාලය පුරාවටම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

● සිකුරාදාට තෙල් පෝලිමට දිය වෙන සෞඛ්‍ය සේවකයන්ගේ ජීවිත….

කොහොම වුණත් සෑම සිකුරාදා දිනයකම දිවයින පුරා පිහිටි පිරවුම්හල් 85 කදී සෞඛ්‍ය අංශයේ සේවකයන්ගේ වාහන සඳහා ඉන්ධන ලබා දෙන්න කටයුතු කරන බවට පහුගිය දවසක විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා තීරණයක් අරගෙන තිබුණා. ඒ අනුව බාධාවකින් තොරව සෞඛ්‍ය සේවකයන්ට එම පිරවුම්හල් අසූ පහේදී ඉන්ධන ලබා ගන්න හැකියාව තියනවා කියලා සෞඛ්‍ය අමාත්‍යවරයාත් ප්‍රකාශයක් නිකුත් කළා.

ත්‍රිරෝද රථ රියැදුරන් සහ වෑන් රියැදුරන්ට ඉන්ධන ලබා දෙන්නේ කොහොමද කියලා අමාත්‍යවරයා පහුගිය දවස් වල කතා කළා. එවැනි සේවාවන් අත්‍යවශ්‍ය සේවා විදියට දැක්ක ඇමැතිවරයාට සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කියලා අවබෝධ වෙලා නැහැ. මේ විදියට තව ටික දවසක් යද්දි සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා මඩම්වල සේවයත් අත්‍යවශ්‍යයි කියලා කියයි. සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍යයි කියලා තේරුම් ගන්නේ නැතුව සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කියලා ගැසට් ගැහුවට වැඩක් නෑ. වෛද්‍යවරු විසිදෙදාහෙන් සීයට හැටකට ආසන්න ප්‍රමාණයක්ම ඉන්නේ බස්නාහිර පළාතේ. මොනරාගලට, හම්බන්තොටට යොදවන වැඩපිළිවෙළ බස්නාහිර පළාතට ගැළපෙන්නේ නෑ. දේශපාලනඥයන්ට සහ වෙනත් ප්‍රභූවරුන්ට කිසිදු පැකිලීමකින් තොරව ඉන්ධන ලබා ගන්න පහසුකම් සලසලා තියෙනවා. වෛද්‍යවරු කියන්නේ තම පුද්ගලික වාහනය රාජකාරි වාහනය කරගත්ත පිරිසක්. ඒ නිසා වෛද්‍යවරුන්ට ඉන්ධන ලබා දීමට වෙනම ක්‍රමවේදයක් සකස් විය යුතුයි.”

කොවිඩ් කාලසීමාවේදී වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් කළ කැප කිරීම මේ වෙද්දී බලධාරීන් අමතක කර ඇති බවත් ඒ නිසා සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු විසඳීමට දේශපාලනඥයන්ට වුවමනාවක් නැති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඒ නිසා සිකුරාදා දිනය වෙනුවට සෑම දිනයකම තෝරාගත් බහුතර ඉන්ධන පිරවුම් හල්වල හෝ සියලුම ඉන්ධනහල් වල එක් පොම්පයක් අත්‍යවශ්‍ය සේවාවන් සපයන පුද්ගලයන්ට ඉන්ධන ලබා දීම සඳහා වෙන් කළ යුතුයි කියලා රුක්ෂාන් බෙල්ලන මහත්මයා යෝජනාවක් ඉදිරිපත් කළා.

● අපේක්ෂාවේ අපේක්ෂා භංග වෙයි ද?

මේ වෙද්දී ඉන්ධන ලබා ගන්න නොහැකි වීම නිසා බොහෝ සෞඛ්‍ය සේවකයන්ට තමන්ගේ රාජකාරි ස්ථානවලට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මේ අර්බුදය නිසා මහරගම අපේක්ෂා රෝහලේ සේවාවන් බිඳවැටීමේ අවදානමක් මතු වෙලා කියලා විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක සිල්වා මහත්මයා ප්‍රකාශ කළා. හදිසි ශල්‍යකර්ම කිරීමට පවා වෛද්‍යවරුන්ට රෝහලට පැමිණීමට නොහැකි තත්ත්වයක් මත අපේක්ෂා රෝහලේ සේවාවන් ඇනහිටීමේ අවදානමක් ඇති වෙලා.

කොවිඩ් වසංගත කාලයේදී වගේම සෞඛ්‍ය වැඩ වර්ජන පවතින අවස්ථාවලදීත් අපේක්ෂා රෝහල කිසිම දවසක වහලා දැම්මේ නෑ. රට තුළ දැන් පවතින ඉන්ධන හිඟය නිසා වෛද්‍යවරුන්ට කාර්යමණ්ඩලයට රෝහලට පැමිණීමට නොහැකි වනවා සේම අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමටත් නොහැකි වෙනවා. මේ නිසා රෝගී ජීවිත අනතුරේ වැටෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

සුවහසක් රෝගීන් වෙනුවෙන් අඛණ්ඩව රෝහල් සේවා පවත්වා ගෙන යෑම කඩිනම් විසඳුම් ලබා දෙන්න කියලා අපේක්ෂා රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා.

අපේක්ෂා රෝහල වගේම ජාතික රෝහල, උතුරු කොළඹ, දකුණු කොළඹ සහ කොළඹ කේන්ද්‍ර කරගත් රෝහල් වල, පේරාදෙණිය සහ දිවයින පුරා පිහිටි බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඉන්ධන ගැටලුව නිසා පීඩාවට පත්වෙලා කියලා ඒ ඒ රෝහල්වල ආරංචි මාර්ග තොරතුරු ඉදිරිපත් කළා.

ඖෂධ සහ අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ හිඟය නිසා මේ වෙද්දී ලංකාව ඉතාමත් දරුණු සෞඛ්‍ය ඛේදවාචකයක් කරා ඇදී යන්න පටන් අරන්. ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට වගේම ඖෂධ මිලදී ගැනීම සඳහාත් මේ වෙද්දී ඔසුසල් අසල දිගු පෝලිම් නිර්මාණය වෙන්න පටන් අරන්.

හුරුපුරුදු බෙහෙත් වට්ටෝරුවත් අරගෙන ඔසු සල්වලට එන ජනතාව වෙනදාට මාසයකට සෑහෙන්නට මිලදීගත්ත බෙහෙත් ටික පවා දැන් ගන්නේ දින දෙක තුනක් සඳහා පමණයි. අත්‍යවශ්‍ය ඖෂධ වල මිල ගණන් ඒ තරම්ම ඉහළ ගිහින්. ඖෂධ හිඟ වීම හේතුවෙන් පිරිසක් ඖෂධ මිලදී නොගෙනම ආපසු හැරී යන අවස්ථාත් ඕනෑ තරම්.

මේ වන තුරු රෝගීන් සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ යම්කිසි ප්‍රමාණයක් හෝ රෝහල්වල තිබුණත් ඉදිරියේදී ඖෂධ හිඟය නිසා සමස්ත සෞඛ්‍ය පද්ධතියම මීටත් වඩා අකාර්යක්ෂම වනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනතුරු අඟවනවා.

රජයේ රෝහල්වල තියෙන ඖෂධ හිඟය සහ එය මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ විගණනයක් පසුගිය දිනයක සිදු කළා. ඒ වාර්තාවට අනුව ඖෂධ හිඟයට මූලික හේතුව ඩොලර් ප්‍රශ්නය වුණත් තවත් හේතු ගණනාවක් ඒ සඳහා බලපාල තියනවා කියලා තොරතුරු අනාවරණය වුණා. අපේ රටේ වැදගත් අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන ආයතන වශයෙන් රෝහල් සඳහා භාවිත කරන ඖෂධ වර්ග සංඛ්‍යාව 1141 ක්. ශල්‍ය ද්‍රව්‍ය සංඛ්‍යාව 8648ක්.

රසායනාගාර 3900 ක් සහ එක්ස් රේ අයිතම් 44ක්. කොහොම වුණත් 2022 මැයි 13 වැනිදා වනවිට වෛද්‍ය සැපයුම් අංශය සහ රෝහල් තුළ වැදගත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 240 එකක් හා ශ්‍රව්‍ය වර්ග 4880 ක හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

ඳාවිවිධ ක්‍රමෝපායන් හරහා ඖෂධ හිඟය පාලනය කර ගැනීමට කටයුතු කළත් තවමත් එයට පූර්ණ විසඳුමක් ලැබිලා නැහැ. රට තුළ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් අවබෝධ කරගනිමින් ප්‍රවේශම්කාරීව කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි සති තුන ඇතුළත රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල බරපතළ හිඟයක් නිර්මාණය වන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා පෙන්වා දෙනවා. ඒ අනුව දැනට ඇතැම් ඖෂධ සඳහා භාවිත කරන ආදේශක ඖෂධ වර්ගද සති තුනක් ඇතුළත අවසන් වනු ඇතැයි වෛද්‍යවරයා සඳහන් කරනවා.

ඒ අනුව දැනට රෝහල් වලින් තෝරාගත් රෝගීන්ට පමණක් ඖෂධ ලබා දෙන බවත් එහිදී වයසින් වැඩි රෝගීන්ට වඩා තරුණ රෝගීන්ට ප්‍රමුඛතාව දීමට සිදුව ඇති බවත් වැඩිදුර තොරතුරු විමසීමේදී අපට දැනගන්න ලැබුණා.

“ලෙඩ හදාගන්න එපා කියලා මිනිස්සුන්ට කිව්වාට අපි හිතලා ලෙඩ හදාගන්නෙ නැහැනේ. කවදත් ලංකාවේ රෝහල්වල පෝලිම් තිබුණා. මේ ඖෂධ හිඟය නිසා ඒ පෝලිම්වල දිග තවත් වැඩිවෙයි. කන්න බොන්න නැතිව මිනිස්සු ලෙඩ වෙන මැරෙන රටක බෙහෙත් ටික නැතුවත් මිනිස්සු මැරෙනවා කියලා අහන්න වෙන දවස වැඩි ඈතක නෑ.”

වර්තමානයේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ජනතාවට තිබුණේ ඒ වගේ අදහසක්.

● වෛද්‍යවරුනුත් රට හැර යන ලකුණු

මේ වෙද්දි රටේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය නිසා බොහෝ දෙනෙක් රට හැර යෑමට සූදානමින් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ අතර වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් වගේම සුළු සෞඛ්‍ය සේවකයන් පවා ඉන්නවා කියලා අපිට වාර්තා වුණා. කොහොම වුණත් රටේ බරපතළ ගැටලුවක් උද්ගත වෙලා තියෙන අවස්ථාවක වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් මේ රට අතහැර යෑම තවත් බරපතළ ගැටලු රාශියක ආරම්භයක්.

“මේ වෙද්දි වෛද්‍යවරු, හෙදියන්, පරිපූර්ණ වෛද්‍ය වෘත්තිකයන් වගේම සෞඛ්‍ය සුළු සේවකයන් පවා රට අතහැරලා යන තත්ත්වයට පත්වෙලා තියනවා. අද සෞඛ්‍යය සුළු සේවකයන්ට පිටරවල රැකියා අවස්ථා ඕන තරම්. සතියකට සෞඛ්‍ය සේවකයන් විසිපහකට තිහකට ආසන්න ප්‍රමාණයක් මේ රටෙන් පිට වෙනවා කියලා පැහැදිලිව පේන්න තියෙනවා.” වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයන් රට හැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වරයා ඒ විදිහට අදහස් ඉදිරිපත් කළා.

කොහොම වුණත් ඉහතින් සඳහන් කළ සියලුම කාරණා වලින් ඔප්පු වෙන්නේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ක්‍රමක්‍රමයෙන් කඩා වැටෙන බව නොවේද? සෞඛ්‍ය සේවකයන්, වෛද්‍යවරුන් වගේම සමස්ත ජනතාවටම අද මුහුණ මේ දෙන්න වෙලා තියෙන ගැටලු වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සංකීර්ණයි. කොහොම වුණත් මේ රටේ බහුතරයක් මිනිස්සු ජීවත් වුණේ නිදහස් අධ්‍යාපනයට හා නිදහස් සෞඛ්‍යයට පින්සිද්ද වෙන්න කියන එක රහසක් නෙවෙයි.

මේ විදියට දිගින් දිගටම ඖෂධ හිඟ වුණොත්, රෝහල් වල කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වුණොත්, දරුවන්ගේ සහ මවුවරුන්ගේ පෝෂණ තත්ත්වයන් නරක අතට හැරිලා මේ රටේ නැවතත් මන්දපෝෂණය වැනි ගැටලු ඇති වුණොත් සරලවම කියනවා නම් හිසරදයකටවත් බොන්න පැනඩෝල් පෙත්තක් ගන්න නැතිවුණොත් ඇතිවන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.

කන්න බොන්න නැතුව දවස් ගණන් පෝලිම්වල දුක් විඳලා මිනිස්සු මැරිලා වැටෙනවා වගේම අත්‍යවශ්‍ය ඖෂධ නැතුවත් මිනිසුන්ගේ ජීවිත නැති වෙනවා කියලා හෙට දවසේ අහන්න ලැබෙන්නැති වෙයි කියන සහතිකය දෙන්න පුළුවන් කාටද?

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment